වර්ෂ 1811 මාර්තු මාසයේදී, ශ්‍රී ලක්දිව බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, පානදුර තොටමුණෙහි පිහිටි, සුන්දර වලාන නම් ගම්මානයේ, වැදගත් පවුලකට දාව සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රරයන් වහන්සේ උපත ලැබූහ.
මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කළ ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ සිට සියවස් ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ කේන්ද්‍රස්ථානය වූයේ ගමේ පන්සලය. කෙසේ වෙතත්, සිද්ධාර්ථ හිමියන්ගේ ජන්ම කාලය වන විට සියවස් තුනක බටහිර ජාතීන්ගේ පාලනය සහ ඔවුන්ගේ කිතුණු ධර්මදූත ක්‍රියාකාරකම් හේතුවෙන් බෞද්ධ විහාර මූලික අධ්‍යාපන ක්‍රමය කඩා වැටී තිබුණි. පහතරට දේශපාලන නොසන්සුන්තාවයෙන් හා අස්ථාවරත්වයෙන් මිදීම සඳහා බොහෝ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පැරණි අධ්‍යාපන ක්‍රමය තවමත් නොනැසී පැවති උඩරටට වැඩම කර තිබුණි.
සිද්ධාර්ථ හිමියන්ගේ මිත්තණිය සිය මුණුබුරා ද කැටුව ගොස් වලානේ පිහිටි නා ගසක් යට මල් පුදා පහන් දල්වමින් පුද පූජා පැවැත්වීම සිරිතක් කර ගෙන තිබුණි. කුඩා දරුවාගේ ද භක්තිය තම මිත්තණියෙගී භක්තියට නොදෙවෙනි වූ අතර, ඇය පූජා කිරීමට මල් පහන් සූදානම් කරන අතරතුර, පූජනීය නා ගස අවට ප්‍රදේශය අතුගා පිරිසිදු කිරීම ඔහුගේ සතුට විය. එම ගමන් වලදී මෙම කුඩා දරුවා ඒ අසල කුඩා ආවාසයක වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක සමඟ මිත්ර වූ අතර, දරුවාගේ ආචාරශීලී බව සහ මෘදු කතා කිරීමේ විලාසය කෙරේ පැහැදුණු එම භික්ෂූන් වහන්සේ ඔහුව පැවිදි කිරීම යෝග්‍ය බවට මිත්තණියට ට යෝජනා කළහ. ඒ අනුව, මවුපියන්ගේ ආශිර්වාදය ද ඇතිව ගිඩ්ඩාවේ ගුණරතන හිමියන් යටතේ වයස අවුරුදු 12 දී පැවිදි වූ මෙම පිරිමි දරුවාට "සිද්ධාර්ථ" යන නම් තැබීය.
මේ සිද්ධාර්ථ සාමණේර හිමිනම ගුණරතන හිමි සහ නැදිවත රේවත හිමි යටතේ ධර්මය උගත් අතර විසි හැවිරිදි වියේදී හෙතෙම මහනුවර මල්වතු මහා විහාරයේ උපසම්පදාව ලබා ගත්හ.
ක්‍රිස්තු වර්ෂයෙන් 1700 ගණන්වලදී, වැලිවිට අසරණසරණ ශ්‍රී සරණංකර සංඝරාජ හිමියෝ තම අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම තුළින් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ, ශ්‍රී විජය රාජසිංහ රජුගේ සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ද සහය ඇතිව සෙංකඩගල (මහනුවර) රාජධානිය තුල මෙරට සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය සහ බුදුදහම නැවත වතාවක් සාර්ථකව ප්‍රතිෂ්ඨාපනය කළහ. උන්වහන්සේගේ නොපසුබස්නා උත්සාහය ශ්‍රී ලංකාවේ නැවත වරක් බෞද්ධ ශාසනය ස්ථාපිත කිරීම හා පුනර්ජීවනය කිරීම කළ අතර එය ලක්දිව ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කළේය.
ශ්‍රී සරණංකර සංඝරාජ හිමියෝ තමන් වහන්සේ වැඩ වාසය කළ මහනුවර නියමකන්දේ පිහිටි විහාරයේ ප්‍රථම පිරිවෙන ආරම්භ කළහ. සිටිනාමළුවේ ධම්මජෝති හිමියෝ සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යයෙකි. කඳුරුපොකුණේ සුවණ්ණජෝති හිමි ඉගෙනුම ලැබුවේ සිටිනාමළුවේ ධම්මජෝති හිමියන් යටතේය. කරතොට ධම්මාරාම හිමියෝ වනාහී කඳුරුපොකුණේ සුවණ්ණජෝති හිමියන්ගේ ශිෂ්‍යයෙකි. ධම්මාරාම හාමුදුරුවන්ගේ ශිෂ්‍ය ගාල්ලේ මේධංකර හිමියෝ ශ්‍රී ලංකාවේ දෙවැනි පිරිවෙන රත්නපුර පැල්මඩුල්ල රජමහා විහාරයේ ආරම්භ කළහ.
ලක්දිව බුදු සසුන යලි ආරක්ෂා කොට බැබළවූ අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවෙන් පැවත ආ පූජ්‍ය පණ්ඩිත මේධංකර මහා ස්වාමින් වහන්සේගෙන් ධර්මය, විනය, ශබ්ද ශාස්ත්‍රය ආදිය ප්‍රගුණ කිරීමට තරුණ සිද්ධාර්ථ හිමියෝ පැල්මඩුල්ල රජමහා විහාරයට වැඩම කළහ.
එම සමයේදී පැල්මඩුල්ල විහාරයට සිංහල සහ පාලි ඉගෙනීමට පැමිණි එවකට රත්නපුර දිසාවේ දිසාපති ජෝර්ජ් ටර්නර් හමුවීමට උන්වහන්සේට අවස්ථාව හිමි විය. ඒ අනුව උන්වහන්සේ ඔහුගෙන් ඉංග්‍රීසි බස උගත්හ.
1838 වර්ෂයේදී දී නැවත වලානේ විහාරස්ථානයට වැඩම කළ සිද්ධාර්ථ හිමියෝ භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුන්ට ධර්මය ඉගැන්වීමට පටන් ගත්හ.
ශ්‍රී සිද්ධාර්ථ හිමියන් අඩි 6 අඟල් 4 ක් පමණ උසින් යුතු අයෝමය දේහධාරියෙක් බවට පැවසේ. අයෝමය දේහ විලාසය කැටිවූ පෞර්ෂත්වය මෙන්ම අධ්‍යාත්මික ගුණයෙන් අනූන වූ ද, ධර්මධර පණ්ඩිත භික්ෂුවක ලෙස ලංකාද්වීපය පුරා පතල වී සිටි වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහ තෙරණුවෝ 1841 මැයි මාසයේ දී රත්මලානට වැඩම කර වදාළහ. ඒ උන්වහන්සේ කෙරේ පැහැදුණු අගනුවර ශ්‍රද්ධා සම්පන්න ප්‍රභූ පවුල් කීපයක් උන්වහන්සේට අගනුවරට නුදුරු රත්මලාන ග්‍රාමයේ වස් විසීම සඳහා සිදු කරන ලද ආරාධනයක් පිළිගැනීමක් වශයෙනි.
එම ප්‍රභූ පිරිස අතර අත්තිඩියේ ආරච්චි මහත්තයා යැයි ප්‍රසිද්ධව සිටි පනාගොඩ ආරච්චිගේ දොන් ජෙරනිමුස් සෙනෙවිරත්න රාලහාමි, ජයසූරිය ආරච්චිගේ තෙදෝනිස් ප්‍රේරා අප්පුහාමි, දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි, රත්මලානේ දොන් ප්‍රෝලිස් ලේකම් රාලහාමි ප්‍රමුඛ වූ අතර ධර්මය විනයධරත්වයත් භාෂා ශාස්ත්‍ර විශාරදත්වයත් මගින් කීර්තියට පත්ව තිබූ වලානේ සිද්ධාර්ථ හිමියන් වෙතින් ශාස්ත්‍ර ඥාණය ලබාගත හැකි වනු පිණිස කොළඹට ආසන්න බිමක ප්‍රසිද්ධ විද්‍යාස්ථානයක් පිහිටුවාලීමට සුදුසු ආරාමයක් කරවා දීමේ අභිප්‍රායක් ඔවුන්ට විය.
කොළඹ තෙදෝනිස් අප්පුහාමි නම් ධනවත් සැදැහැති සත්පුරුෂයා විසින් “නෝර්මන් ඉස්කෝලෙ” යැයි ප්‍රසිද්ධ ශාස්ත්‍රාලය ඉදිරිපිට හිස්බිමක් මිලට ගෙන ආරාමයක් කරවා පූජා කිරීමට කැමැත්ත දැක්වූ නමුත් දූරදර්ශී සිද්ධාර්ථ හිමියන් එය නොපිළිගත්තේ තවත් පනස් වසරක් ගෙවෙන විට කොළඹ නගරයේ ඇතිවිය හැකි දියුණුවක් සමඟ කාර්යබහුල පරිසරයක් ලාබාල ශිෂ්‍යයන් පුහුණු කිරීමට සුදුසු නොවන බව පසක් කර ගනිමිනි.
කෙසේ වෙතත් අගනුවරට නුදුරු එවකට ග්‍රාමීය පරිසරයක් සහිත එහෙත් පුණ්‍යකාමී ධනවත් ප්‍රභූ පවුල් කීපයකට ද නිජබිිමයක් වූ රත්මලාන ග්‍රාමයේ ආරාමයක් කරවීම පිණිස භූමිභාගයක් පූජා කිරීමට දොන් ජෙරනිමුස් සෙනෙවිරත්න රාලහාමි විසින් සිද්ධාර්ථ හිමි කැඳවාගෙන පැමිණ භූමිය පෙන්වා අදහස සැළකළ අතර ඊට උන්වහන්සේගේ කැමැත්ත හිමි විය.
ආරාමය කරවන තුරු පොල් අත්තෙන් තැනවූ කුඩා ආවාසයක මෙලෙස රත්මලානට වැඩම කළ සිද්ධාර්ථ හිමියෝ කලින් කී ප්‍රභූ සත්පුරුෂයන්ගේ සහ සැදැහැතියන්ගේත් සිව්පසය ලබමින් වස් කාලය විසූහ. එය පරම ධම්ම චේතිය මහ පිරිවෙනේ ආරම්භයයි.
මෙම කුඩා ආවාසයේ සිට ශිෂ්‍යයන් දෙතුන් දෙනෙකුගෙන් ඉගැන්වීම ආරම්භ වූ අතර, පිරිවෙනේ ප්‍රධානම අරමුණ වූයේ තෙවලා බුදු දහම නිවැරදිව ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට ඉගැන්වීමයි. ඉතා කෙටි කාලයකින්ම එහි කීර්තිය පතලව ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දහහත් නමක් දක්වා එය වර්ධනය වූ අතර එම දහහත් නම අතරින් වඩා කැපී පෙනුණු භික්ෂූන් වහන්සේලා වූයේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, රත්මලානේ ශ්‍රී ධම්මාලෝක හිමි, දෙනිපිටියේ සංඝරක්ඛිත හිමි, මොරපිටියේ අත්ථදස්සී හිමි, බටුවන්තුඩාවේ දේවරක්ඛිත හිමි, බද්දේගම සරණංකර හිමි, කොග්ගල කවිතිලක හිමි, උඩුගම්පොළ රතනපාල හිමි, මැදගම සුමන හිමි, ගණේගම උපනන්ද හිමි, ලබුගම හිමි හා සූරියගොඩ සෝණුත්තර හිමි යන තෙරුන් වහන්සේලා ය.
ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ද පසු කලෙක ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදයෙහිලා විශිෂ්ඨ සේවාවක් කරන ලද අතර, ඒ අතර සිටි පානදුරාවාදය, බද්දේගම වාදය ආදී ආගමික විවාදවලදී බෞද්ධ පිළෙහි ජයග්‍රහණයට උපස්ථම්භක වූද 1873 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ ආරම්භ කොට ලංකාද්වීපය පුරා ධර්ම ශාස්ත්‍ර ප්‍රබෝධයක් ඇති කළා වූද අති පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ද, පසුකාලීනව කැළණිය විශ්වවිද්‍යාලය බවට පත්වූ 1875 දී පිහිටවූ විද්‍යාලංකාර පිරිවෙණ ආරම්භ කල අති පූජ්‍ය රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නාහිමි ද කැපී පෙනේ. ඒ අනුව කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි සහ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි තිඹිරි ගෙය වන්නේ ද පරම ධම්ම චේතිය මහ පිරිවෙනයි.
කෙසේ වෙතත් සිද්ධාර්ථ හිමියෝ සිය වලානේ විහාරස්ථානය සමඟ සම්බන්ධය අත් නොහළ අතර රත්මලානේ මෙන්ම වලානේද උන්වහන්සේ විසූහ. එහෙයින් රත්මලානේ දොන් ප්‍රෝලිස් ලේකම් රාලහාමි ඇතුළු ශ්‍රද්ධා සාම්පන්න දායක පිරිසක් සිද්ධාර්ථ හිමිපාණන් වෙත පැමිණි රත්මලානේ නිත්‍ය නේවාසිකත්වයට වැඩම කරන ලෙස අයැද සිටි අතර එම ආරාධනය පිළිගත් වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමිපාණෝ 1849 දී රත්මලාන පරම ධම්ම විහාරස්ථානයට නිත්‍ය නේවාසිකත්වය සඳහා වැඩම කළ සේක.
1855 ජූනි මාසයේදී සිද්ධාර්ථ හිමි ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා පිරිසක් කෝට්ටේ රජ මහා විහාරයට රැස් වී පහතරට දී උපසම්පදා උත්සවයක් පැවැත්වීමට තීරණය කළහ. ඔවුන් "ශ්‍රී කල්‍යාණි සාමග්‍රී පරම මහා සංඝ සභාව" පිහිටුවා 1856 දී කැලණි නදියේ උපසම්පදා උත්සවය පවත්වන ලදී. එය පහතරට සියම් නිකායේ ප්‍රථම උපසම්පදාව වන අතර පහතරට උපසම්පදාවේ ආරම්භයයි.
වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමින්වහන්සේගේ මඟපෙන්වීම යටතේ ගාල්ලේ ගුණතිලක අතපත්තු සල්පිටි කෝරළේ මුදලිතුමාගේ සහ කීර්තිමත් පඬිවරයා වූ කොග්ගල පණ්ඩිත් තුමාගේ ප්‍රධානත්වයෙන් ලක්දිව ප්‍රථම සිංහල පත්‍රය "ලක්මිණිපහන" ආරම්භ වූ අතර එය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 1862 සැප්තැම්බර් 11 වැනිදාය.
යටත් විජිත යුගයේ ප්‍රථම ධර්ම සංගායනාව 1860 ගණන්වල අගභාගයේදී පැල්මඩුල්ල පුරාණ විහාරයේ දී සිදු වූ අතර, එහි ප්‍රධානත්වය හොබවන ලද්දේ සිද්ධාර්ථ නාහිමියන් විසිනි. 1865 දී අතිපූජ්‍ය සිද්ධාර්ථ මහා ස්වාමින් වහන්සේ ගේ මගපෙන්වීම යටතේ ත්‍රිපිටකය, පාලි ග්‍රන්ථය පෙරහුරු කරන ලදී. මෙම උතුම් කර්තව්‍යයේ අනුග්‍රාහකයා වූයේ රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේතුමන් වූ ඉද්දමල්ගොඩ ආර්.එම් ය. මෙම සංගායනාවේ අරමුණ වූයේ පිටපත් කරන්නන් විසින් නොදැනුවත්ව සිදු කරන ලද අක්ෂර වින්‍යාසයේ දෝෂ නිවැරදි කිරීම, පාලි ග්‍රන්ථ සංශෝධනය කිරීමයි. සියම් සහ අමරපුර යන නිකාය දෙකෙහිම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගි වූහ.
ඉතා උනන්දුවෙන් විනය පිටකයේ අවසාන සංශෝධන වල කටයුතු කරමින් සිටියදී ශ්‍රී සිද්ධාර්ථ හිමියන් රෝගාතුර වූ අතර උන්වහන්සේ නැවත රත්මලානට වැඩම කළහ. නමුත් අවාසනාවන්ත ලෙස උන්වහන්සේගේ සෞඛ්‍යය දිගින් දිගටම පිරිහී ගිය අතර, 1868 පෙබරවාරි 13 වන දින ධර්ම ශාස්ත්‍රාලෝකයෙන් ලක් පොළොව ආලෝකවත් කළ උන්වහන්සේ අපවත් වී වදාලේ උතුම් ශාස්ත්‍රීය සහ අධ්‍යාත්මික උරුමයක් ඉතිරි කරමිනි.