වලානේ ධම්මානන්ද මහා ස්වාමින් වහන්සේ පරම ධම්ම චේතිය මහා පිරිවෙනේ නිර්මාතෘ වූ වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමින් වහන්සේගේ දීප්තිමත් ශිෂ්‍ය රත්නයකි. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් යටතේ ද ධර්මය ප්‍රගුණ කළ උන්වහන්සේ විද්‍යෝදය මහා පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස ද කටයුතු කළහ.
වලානේ ධම්මානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුද්ධ ශාසන මහා සූර සේනාපති රාජදත්තිය නාමෝපලක්ෂිත ධර්මරත්න පඩිතුමාගේ ආරාධනය පිළිගෙන 1887 දී පරම ධම්ම චේතිය පිරිවෙනේ විහාරාධිපති පදවියට පත්වූහ. උන්වහන්සේගේ සමයේදී එවකට "පරම ධම්ම චේතියාරාමය" නමින් හැඳින්වුනු පරම ධම්ම චේතිය මහ පිරිවෙන ඉතිහාසයේ නව යුගයක් සනිටුහන් කරමින් "පරම ධම්ම චේතිය පිරිවෙන" ලෙසින් හැඳින්වීමට පටන් ගත්තේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරුලෙන විල්ගම්මුල ගල් ගුහාවක තිබූ දුටුගැමුණු රජතුමා විසින් පිහිටුවන ලද අභය මුද්‍රාවෙන් යුතු සධාතුක ශෛලමය ප්‍රතිමා වහන්සේ පරම ධම්ම චේතිය පිරිවෙන් භූමියට වඩමවා විහාර ගෙයක් තනා ප්‍රතිමාව පිහිටුවා දෙපැත්තේ තවත් බුද්ධ පර්යංක ප්‍රතිමා දෙනමක් අඹා සිතුවම් කරන ලද්දේ ධම්මානන්ද හිමියන්ගේ කාලයේදීය. "මැණික් පිළිමය" යැයි අද හඳුන්වන මෙහි රක්ත මාණික්‍යයක් යොදන ලද සර්වඥ ධාතු නිධන් කොට ඇතැයි සැළකෙන අතර සිංඩුන්මිබයා නම් බුරුම රැජිණ විසින් 1892 දී මේ ප්‍රතිමාවෙහි ස්වර්ණාලේප කරවන ලද බවද තවත් කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා දෙකක් එවන ලද බවද සඳහන් වන අතර එම ප්‍රතිමා දෙක මැණික් පිළිමය දෙපස තැන්පත් කරනු ලැබ ඇත.
ඊට නොබෝ කලකට පසු වික්ටෝරියා රැජිණ දැකීමට ගොස් සිය රට යන අතරතුර ලංකාවට ගොඩ බැසි කාම්බෝජ රජතුමා කොළඹට සැපත් වූ අතර පරම ධම්ම චේතිය පිරිවෙනටද පැමිණ එවකට අඩුවක්ව තිබූ ධර්ම ශාලාව තැනීමට ධන පරිත්‍යාගය සිදු කළ අතර එයින් ධර්ම ශාලාව ඉදිකර එය චිරස්ථායි වන අන්දමට අයෝමය දැවයෙන් රට උළු වලින් හා කැටයමෙන් යුතුව නිමකරන ලදි.
ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කාලය පරම ධම්ම චේතිය පිරිවෙණෙහි දීප්තිමත් යුගයක් වීය. එම සමයේදී ගිහි පැවිදි වියතුන් විශාල ප්‍රමාණයක් එහි ශාස්ත්‍ර හදාල අතර ත්‍රෛනිකායික මහානායක ධූර හෙබවූ රාජකීය පණ්ඩිත විදුරුපොළ පියතිස්ස, ගබ්බෙල සිරිනිවස, මොරටුවේ මේධානන්ද, මාතලේ ධම්මසිද්ධි, පිඹුරේ වාචිස්සර යන මහ තෙරවරුන්ද ධම්මානන්ද සමයෙහි මේ පරම ධම්ම චේතිය පිරිවෙණෙහි ශාස්ත්‍ර හදාරන ලද අතර උඩරට අමරපුර නිකායේ මහානායක හිමියන් වහන්සේ බවට පත්වූ රාජකීය පණ්ඩිත විදුරුපොළ පියතිස්ස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පරම ධම්ම චේතිය පිරිවෙනට මහත් කීර්තියක් ගෙන දෙමින් සිංහල, පාලි, සංස්කෘත භාෂා ත්‍රිත්වයෙන් ගෞරව පන්තියේ සාමාර්ථ්‍ය ලැබ ප්‍රාචීන විභාගය සමත්ව මෙරට පළමු වරට උභයශේඛර ස්වර්ණ මුද්‍රිකාව සහිතව පණ්ඩිත උපාධිය ලැබූ සේක.
මෙසේ පරම ධම්ම චේතිය පිරිවෙණෙහි දීප්තිමත් යුගයක අවසානය සනිටුහන් කරමින් වලානේ ධම්මානන්ද මහා තෙරුන් වහන්සේ 1911 දී අපවත් වී වදාළහ.