පහළට යන්න

මාපලගම විපුලසාර මහ තෙරුන් වහන්සේ

වර්ෂ 1925 දී උපත ලද විපුලසාර හිමියෝ දීප්තිමත් භික්ෂුවක් පමණක් නොව චිත්‍ර, මූර්ති, බෞද්ධ චිත්‍ර කලාවන්හි විශාරදයෙකු මෙන්ම සංස්කෘතික තානාපතිවරයකු ද වූහ. උන්වහන්සේ ශ්‍රී ලංකාවේ ජාතික ලාංඡනයේ නිර්මාණකරු ද වන අතර ප්‍රතිමා රාශියක් ඇඹීමද ප්‍රතිසංස්කරණය කිරීමද කළහ. ස්වර්ණමය යුගයක් සටහන් කරමින් උන්වහන්සේගේ සමයේදී පරම ධම්ම චේතිය පිරිවෙන අධ්‍යාපනය, කලාව සහ ගෝලීය බෞද්ධ සබඳතාවල මධ්‍යස්ථානයක් බවටද පත්විය.

මාපලගම විපුලසාර මහ තෙරුන් වහන්සේ

මාපලගම විපුලසාර

මාපලගම විපුලසාර

මහ තෙරුන් වහන්සේ

මහ තෙරුන් වහන්සේ

මාපලගම විපුලසාර මහ තෙරුන් වහන්සේ

විහාරාධිපති

1960 - 2000

වර්ෂ 1925 දී උපත ලද විපුලසාර හිමියෝ දීප්තිමත් භික්ෂුවක් පමණක් නොව චිත්‍ර, මූර්ති, බෞද්ධ චිත්‍ර කලාවන්හි විශාරදයෙකු මෙන්ම සංස්කෘතික තානාපතිවරයකු ද වූහ.

උන්වහන්සේ ශ්‍රී ලංකාවේ ජාතික ලාංඡනයේ නිර්මාණකරු ද වන අතර ප්‍රතිමා රාශියක් ඇඹීමද ප්‍රතිසංස්කරණය කිරීමද කළහ. ස්වර්ණමය යුගයක් සටහන් කරමින් උන්වහන්සේගේ සමයේදී පරම ධම්ම චේතිය පිරිවෙන අධ්‍යාපනය, කලාව සහ ගෝලීය බෞද්ධ සබඳතාවල මධ්‍යස්ථානයක් බවටද පත්විය.

කලාසුරි ආචාර්ය මාපලගම විපුලසාර මහ තෙරුන් වහන්සේ 1925 මාර්තු 03 වැනි දින මෙරට ගාලු පුරවරයේ මාපලගම ග්‍රාමයේ උපත ලැබූහ. උන්වහන්සේ සිය මූලික අධ්‍යාපනය පරන්තනෙයම්ගොඩ රජයේ පාසලෙන් ආරම්භ කරන ලදි. 1940 ජූලි 14 දින පහළොස් හැවිරිදි වියේදී උන්වහන්සේ රත්මලාන පරම ධම්ම චේතිය මහා පිරිවෙනේදී පැවිදි දිවියට ඇතුළත් වූ අතර 1946 පෙබරවාරි 18 වැනි දින උපසම්පදාව ලැබූහ.

උන්වහන්සේ සිය මූලික පිරිවෙන් අධ්‍යාපනය අගලවත්තෙන් ලබා ගත් අතර පසුව මරදාන මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හැදෑරූහ. සිතුවම්, මූර්ති ශිල්පය, සෞන්දර්ය අධ්‍යයනය කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ මෙම තරුණ භික්ශූන් වහන්සේගේ කලා කුසලතාව මනාව හඳුනා ගත් මහාචාර්ය ආචාර්ය ගුණපාල මලලසේකරය උන්වහන්සේව ජාතික සෞන්දර්ය කලා පාසලේ විදුහල්පති ජේ. ඩී. ඒ. පෙරේරා මහතාට හඬුන්වා දුන් අතර, ඊළඟ වසර තුන තුළ ඔහු සෞන්දර්ය කලා පාසල තුල සිය කුසලතා ඔප් නංවා ගත්තේය. ඉන් නොනැවතුනු උන්වහන්සේ, අති දක්ෂ කලාකරුවන් ඒකරාශී කරගනිමින් “ජාතික කලා පෙරමුණ” පිහිටුවා ගත් අතර එය උන්වහන්සේ නායකයෙකු ලෙස ද ඉස්මතු වීමට හේතු කාරණා විය.

ජාත්‍යන්තර බෞද්ධ කලාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා සහ උන්වහන්සේගේ දැනුම සහ අවබෝධය වර්ධයන කරගැනීම සඳහා උන්වහන්සේ ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, ජපානය, චීනය, තායිලන්තය සහ බුරුමය ඇතුළු රටවලට සංචාරය කළහ. මෙම චාරිකා ඔහුගේ අවබෝධය සාරවත් කිරීමට උපකාරී වූව පමණක් නොව, 1950 ගණන්වල උන්වහන්සේට ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරගැනීමටද උපකාරී වූ අතර, උන්වහන්සේ බෞද්ධ කලා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම චරිතයක් ලෙස ස්ථාපිත වීමටද හේතු කාරණා විය.

ලාංකික ගොක්-කොළ සැරසිලි, කෝලම්, රූකඩ, සහ මෙරට ප්‍රධානතම ශාන්තිකර්මයක් වන කොහොඹාකංකාරිය ඇතුළු විවිධ සම්ප්‍රදායික කලාවන්හි අති විශිෂ්ඨ නිපුණයෙකු වූ විපුලසාර හිමියෝ විශේෂයෙන්ම ගොක්-කොළ සැරසිලි සහ නිර්මාණාත්මක කලාවෙහි ලා සුවිෂේශී ඇගයීමකටද ලක්විය. ක්‍රිස්තු වර්ෂයෙන් 1956 වූ සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේදී උන්වහන්සේගේ සැරසිලි ජපානයේ මිකාසා කුමරු ඇතුළු ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන්ගේ මෙන්ම අනෙකුත් විදේශීය සහ දේශීය ප්‍රභූවරුන්ගේ අතිශය පැසසුමට ලක් විය.

අග්‍රගණ්‍ය සෞන්දර්යාත්මක ඇසකින් යුත් බහුවිධ කලාකරුවෙකු වූ මාපලගම විපුලසාර හිමියෝ විවිධ ක්ෂේත්‍ර හරහා, විශේෂයෙන් චිත්‍ර හා මූර්ති ශිල්පයේ අද්විතීය නිර්මාණාත්මක කුසලතාවක් ප්‍රදර්ශනය කළහ. උන්වහන්සේ ප්‍රවීණ බුද්ධ ප්‍රතිමා මූර්ති ශිල්පියෙකු වශයෙන් දෙශීය සන්නාමයක් බවට පත් වූ අතර, උන්වහන්සේගේ විහාර සිතුවම් සහ විශිෂ්ට බෞද්ධ මූර්ති සඳහා අති විශාල පිළිගැනීමක් හිමි විය. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මඟපෙන්වීම යටතේ අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාවේ කැඩුණු නාසය ප්‍රතිසංස්කරණය කිරීම ද සිද් කරන ලද්දේ විපුලසාර හිමියන් විසිනි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ, කොටුව සම්බුද්ධාලෝක විහාරයේ සහ ජනාධිපති මන්දිරයේ සුප්‍රසිද්ධ බුද්ධ ප්‍රතිමා, BMICH ඉදිරිපිට ඇති අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුව ආදියද උන්වහන්සේගේ මනස්කාන්ත නිර්මාණ වේ. උන්වහන්සේ නුගේගොඩ කන්දවත්ත කොසින්න රජමහා විහාරයේ, කොල්ලුපිටියේ වාලුකාරාමයේ සහ ලොව පුරා බෞද්ධ විහාරස්ථාන ගණනාවක කලාවන් සඳහා ද දායක වූහ. මීට අමතරව, විපුලසාර හිමියන් විසින් මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව ප්‍රතිනිර්මාණය කර එය එහි මුල් විශිෂ්ඨත්වයටම ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රතිමාවද සහ විහාරමහා දේවි උද්‍යානයේ ඇති අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රතිමාවද නිමවූයේ විපුලසාර හිමියන් අතිනි.

ලොව කිසිදු රටකට නොදෙවෙනි ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය ලාංඡනය ද විපුලසාර හිමියන්ගේ අග්‍රගණ්‍ය නිර්මාණයකි. 1972 දී, එවකට ලාංඡන සහ කොඩි නිර්මාණ කමිටුවේ සභාපති ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය නිර්මාණය කිරීමේ කීර්තිමත් ගෞරවය උන්වහන්සේට හිමි වූ අතර, කලාත්මක කටයුතු එස්. එම්. සෙනෙවිරත්න මහතා විසින් සිදු කරන ලදි.

දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී විපුලසාර හිමි මෙරට සංස්කෘතික උරුමය අලංකාර ලෙස විදහා දැක්වෙන ලෙසට වේදිකාව සැලසුම් කිරීම සහ ඉදිකිරීම සිදු කරන ලදි. උත්සවය සඳහා මනරම් තොරණක් සහ මණ්ඩපයක් ඉදිකිරීම ද උන්වහන්සේගේ අධීක්‍ෂණය යටතේ සිදු විය.

1974 දී දෙවන ජුවාම් පාවුළු පාප්තුමාගේ ආරාධනයෙන් උන්වහන්සේ රෝමයේ වතිකානුවේ චාරිකාවක නිරත වීමට අවස්ථාව හිමිවූ අතර එහි කලාගාර ගවේෂණය කරමින් විවිධ නිර්මාණ කෘති අධ්‍යයනය කළේය. එහිදී උන්වහන්සේ ශාන්ත පීතර බැසිලිකා සහ අනෙකුත් වැදගත් ස්ථාන වෙත ගොස් බිතුසිතුවම් සහ මූර්ති පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළහ. මෙම සංචාරය උන්වහන්සේගේ කලා දිවියේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කළේය.

විපුලසාර හිමියෝ නව සංකල්පයක් ප්‍රථිමා කලා ක්ෂේත්‍රයට හඳුන්වා දෙමින් බුද්ධ ප්‍රතිමා සහ අනෙකුත් කලා නිර්මාණ සඳහා ෆයිබර්ග්ලාස් යොදා ගැනීමෙහි ලා පුරෝගාමී වූහ.

විපුලසාර හිමියන්ගේ ගුරු හිමියන් වූ වලානේ සට්ඨිස්සර මහා ස්වාමින් වහන්සේ 1960 ජනවාරි 14 දින අපවත් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ නූතන පිරිවෙන් අධ්‍යාපනයේ පුරෝගාමියා වූ පරම ධම්ම චේතිය මහ පිරිවෙනේ විහාරාධිපති ධූරයට විපුලසාර හිමියෝ පත් වූහ. පිරිවෙන් බිමේ පිහිටුවා තිබූ මෙරට පළමු පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යක්ෂ ධූරයට ද උන්වහන්සේ පත් වූහ. පරම ධම්ම චේතිය පිරිවෙන අති විශිෂ්ඨ අධ්‍යාපන ආයතනයක් පමණක් නොව අග්‍රගණ්‍ය කලාගාරයක්, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් සහ බෞද්ධ ලෝකය පුරා ගෞරවාදරයට පාත්‍ර වන ප්‍රබල සමාජ සේවා මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන ලද්දේ විපුලසාර මහ තෙරුන් වහන්සේ විසිනි. බෞද්ධ සේවයෙහි ලා කැපවූ බෞද්ධ ධර්ම දූතයෙකු ලෙස විපුලසාර හිමියෝ බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කළහ. උන්වහන්සේගේ කාර්යයේ කැපී පෙනෙන තවත් අංගයක් වූයේ පරම ධම්ම චේතිය මහා පිරිවෙන තුල මැලේසියාවේ සංඝ නායක පූජ්‍ය ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමීන් යටතේ ජාත්‍යන්තර ධර්මදූත ක්‍රියාකාරකම්වල නියැලීම සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පුහුණුව ලබා දීමයි.

විපුලසාර හිමියෝ ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන සභාපති, නායක හිමි ඇතුළු ගෞරවනීය තනතුරු රාශියක් දැරූ අතර ජාතික හා ජාත්‍යන්තර සංවිධාන 18කට අධික සංඛ්‍යාවක උපදේශකයකු ලෙසද කටයුතු කළහ. බොහෝ අවස්ථාවන් හිදී උන්වහන්සේ මෙම සංවිධාන බොහොමයක සභාපතිවරයා ලෙස වැදගත් කාර්යභාරයක් ඉටු කළහ. උන්වහන්සේ ශ්‍රී ලංකා-ජපාන මධ්‍යස්ථාන සංගමයේ මුලසුන දැරූ අතර ශ්‍රී ලංකා-කොරියානු සංස්කෘතික සංගමයේ ලේකම් ලෙසද කටයුතු කළහ.

කලාසූරී ආචාර්ය මාපලගම විපුලසාර හිමියන් වනාහී ගෝලීය ප්‍රජාව සමඟ උණුසුම් සහ සුහද සබඳතා ඇතිකරගත් සුවිශේෂී බෞද්ධ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. බුදුදහම ජාතීන් හා සංස්කෘතීන් සම්බන්ධ කරන රන් නූලක් ලෙස ක්‍රියා කරන බවට උන්වහන්සේ විශ්වාස කළහ.

බුදු දහමටත් කලාවටත් උන්වහන්සේ සිදු කළ විශිෂ්ඨ දායකත්වය අගයමින්, ශ්‍රී ලංකා රජය 1984 දී උන්වහන්සේට “කලාසුරි” ගෞරව නාමය පුදකරන ලදි. ඊට අමතරව, සංස්කෘතික ප්‍රචාරණය සඳහා ඔහුගේ විශිෂ්ට ප්‍රයත්නයන් අගයමින් එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් හි ජාත්‍යන්තර චරිතාපදාන මධ්‍යස්ථානයෙන් (International Biographical Centre) විසිවන සියවසේ සම්මානය (Twentieth Century Award) ඇතුළු බොහෝ ඇගයීම් උන්වහන්සේට හිමිවිය.

තායිලන්තයේ චූලලොන්ග්කොන් විශ්වවිද්‍යාලය උන්වහන්සේට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලද අතර කැලණියේ විද්‍යාලංකාර පිරිවෙන උන්වහන්සේට “සාහිත්‍ය චක්‍රවර්ති” යන ගෞරව නාමය පිරිනමනු ලැබීය.

1961 සිට 1963 දක්වා උන්වහන්සේ චීනය, මොංගෝලියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, හොංකොං, සිංගප්පූරුව, තායිලන්තය සහ මියන්මාරය වැනි රටවල චිත්‍ර, අත්කම්, සිතුවම් සහ මූර්ති කෙරෙහි අවධානය යොමු කරමින් සෞන්දර්යය පිළිබඳ පුළුල් පර්යේෂණ සිදු කළහ. උන්වහන්සේ තවදුඅරත් 1961 සහ 1963 දී පිළිවෙලින් සෝවියට් සංගමයේ සහ චීනයේ ප්‍රදර්ශන හරහා උන්වහන්සේගේ දක්ෂතා ප්‍රදර්ශනය කළහ. වර්ථමානයේ, විපුලසාර හිමියන්ගේ උත්කෘෂ්ඨ කලා කෘති ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය, චීනය, ඇමරිකාවේ නිව්යෝර්ක්, ඕස්ට්‍රේලියාව මෙන්ම ජර්මනිය වැනි රටවල් ද ඇතුළුව ලොව පුරා ප්‍රදර්ශනය කෙරේ.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදේශ රටවල ප්‍රචාරය සඳහාද උන්වහන්සේගෙන් සිදු වූයේ අගනා සේවාවක් වන අතර “නිල නොලත් සංස්කෘතික තානාපතිවරයා” යන අනුවර්ත නාමයෙන් උන්වහන්සේ හැඳින්වූහ.

උන්වහන්සේගේ සමය තුළ පරම ධම්ම චේතිය මහා පිරිවෙනෙහි අති විශාල වර්ධනයක් සහ වැඩිදියුණු කිරීම් රාශියක් සිදු කරන ලදී. සිද්ධාර්ථ මන්දිරය නමින් හැඳින්වෙන දෙමහල් ගොඩනැගිල්ල ඉදි කිරීමත්, නිතර පිරිවෙනට පැමිණෙන විදේශිකයන් ඇතුළු අමුත්තන්ට නවාතැන් ගැනීම සඳහා නවීන පහසුකම් සහිත කාමර කිහිපයක් ඉදිකිරීමත් නවීන දානශාලාව ඉදි කිරීමත්, පිරිවෙනට ඇතුළුවන ස්ථානයේ වාහල්කඩ සහිත තොරණ ඉදි කිරීමත් භාවනා මන්දිරය සහ දෙමහල් ජාත්‍යන්තර පුස්ථකාලය ඉදි කිරීමද උන්වහන්සේගේ සමයේ සිදු කරන ලද අතර අසරණ සරණ පුණ්‍යාධාර ක්‍රමයක් මෙන්ම මහජන යහපත උදෙසා සායනයක් ද ආරම්භ කරන ලදි.

විපුලසාර හිමියන්ගේ සක්ථිමත් විදේශ සබඳතා නිසා චීනය, ජපානය, කොරියාව, තායිලන්තය, බුරුමය වැනි රටවල ධර්මදූතයෝ පිරිවෙනට නිතර පැමිණියහ. මීට අමතරව, මෙම රටවලින් පිරිවෙනෙහි අධ්‍යාපනය ලැබීමට පැමිණීම විදේශීය ශිෂ්‍ය භික්ෂූන් සංඛ්‍යාව අතිශය වර්ධනය වූ අතර එය පිරිවෙන කෙරෙහි ජාත්‍යන්තර කීර්තිය වර්ධනය කරමින් බුදු දහම අන්තර්ජාතික වශයෙන් පෝෂණය කිරීමට ද හේතු විය.

මෙම විපුලසාර යුගය පරම ධම්ම චේතිය මහා පිරිවෙනේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ. පරම ධම්ම චේතිය මහා පිරිවෙනටත්, බෞද්ධ ශාසනයටත්, රටටත් මඟ පෙන්වන ආලෝකයක් මෙන්ම බෞද්ධ කලාවේ සහ ලෝක බෞද්ධ ප්‍රජාවේ සුවිශේෂී පුරෝගාමී යුග පුරුෂයෙකු වූ පූජ්‍ය කලාසූරී ආචාර්ය මාපලගම විපුලසාර මහා තෙරුන් වහන්සේ වර්ෂ 2000 ඔක්තෝබර් 29 වැනි දින හැත්තෑ පස් හැවිරිදි වියේදී අපවත් වී වදාළහ.