පහළට යන්න

පරම ධම්ම චේතිය මහ පිරිවෙනේ ඉතිහාසය

අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවෙන් පැවත ආ වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් විසින් ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2385 වූද ක්‍රිස්තු වර්ෂයෙන් 1841 මැයි මාසයේ වස් විසීමට රත්මලානට වැඩම කොට පොල් අත්තෙන් නිමවූ ආවාසයක සිට සිසුන් දෙතුන් දෙනෙකුගෙන් පරම ධම්ම චේතිය මහ පිරිවෙන ආරම්භ කළහ.

පරම ධම්ම චේතිය මහ පිරිවෙනේ ඉතිහාසය

ඉතිහාසය

පරම ධම්ම චේතිය මහ පිරිවෙණ

පරම ධම්ම චේතිය මහ පිරිවෙණ

ආරම්භය.

1841 | 2385 බු.ව.

අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවෙන් පැවත ආ වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් ධර්මධර පණ්ඩිත භික්ෂුවක ලෙස 19වන සියවසේ මුල් භාගයේදී ලංකාද්වීපය පුරා පතල වීය.

ඉන් උන්වහන්සේ කෙරේ පැහැදුණු අගනුවර ශ්‍රද්ධා සම්පන්න ප්‍රභූ පවුල් කීපයක් උන්වහන්සේට අගනුවරට නුදුරු රත්මලාන ග්‍රාමයේ වස් විසීම සඳහා ආරාධනා කරන ලදි. එය පිළිගත් සිද්ධාර්ථ හිමියෝ 1841 මැයි මාසයේදී වස් විසීම සඳහා රත්මලානට වැඩම කළ අතර, ශ්‍රද්ධා සම්පන්න ප්‍රභූවරයෙකු වූ දොන් ජෙරනිමුස් සෙනවිරත්න රාලහාමි විසින් පූජා කරන ලද ඉඩමේ පොල් අත්තෙන් තැනවූ කුඩා ආවාසයක උන්වහන්සේ වස් විසීම ආරම්භ කළහ.

එය පරම ධම්ම චේතිය මහ පිරිවෙනේ ආරම්භයයි.

බෞද්ධ පුනර්ජීවය

16වන ශතවර්ෂයේ පිරිවෙන් අධ්‍යාපනයේ දියුණුව ක්‍රමයෙන් පරිහානියට ලක්වී කඩා වැටෙන්නට පටන් ගන්නා ලදි. කෝට්ටේ යුගය වන විට පිරිවෙන් ‍අධ්‍යාපන ක්‍රමය ඉතා ඉහළ මට්ටමක පැවැති බව සංදේශ කෘති මගින් ගම්‍ය වේ. කෙසේ නමුත් එම ශතවර්ෂයේ, විශේෂයෙන් සීතාවක යුගයේ පටන් රට මුහුණ දුන් දේශපාලන අර්බුද, බටහිර ජාතීන්ගේ ආක්‍රමණ නිසා ප්‍රධාන පෙළේ භික්‍ෂු අධ්‍යාපන ආයතන වල ද පරිහානිය ක්‍රමයෙන් ඇති විය.

මේ යුගයේ සිටි සිංහල රජවරුන්ට බටහිර ජාතීන් සමග සටන් වැදීමට සිදුවීම, දේශීය වශයෙන් පැවති අභ්‍යන්තර යුද්ධවලට මුහුණපෑමට සිදුවීම, විවිධ වසංගත පැතිර යාම ආදී හේතූන් නිසා බුද්ධ ශාසනයද පරිහානියට පත් වූ අතර දහසයවන සියවසේ සිට බෞද්ධ අධ්‍යාපන කටයුතු පිරිහී යාම වැළැක්විය නොහැකි විය. මෙම කාලය වන විට උපසම්පදාව අභාවයට ගොස් තිබූ බැවින් බුද්ධ ශාසනය තවදුරටත් පිරිහී තිබුණි...

... ලක්දිව භික්‍ෂු සමාජයේ පැවැති මෙම පරිහානි තත්ත්වය නැතිකොට බුදු සසුන නගා සිටුවීමේ උදාර පරමාර්ථයෙන් මහනුවර යුගයේ පළමුවැනි විමලධර්මසූරිය, සෙනරත්, දෙවැනි රාජසිංහ, දෙවැනි විමලධර්මසූරිය ආදී රජුන් විසින් වෙනත් බෞද්ධ රටවලට දූතයන් යවා උපසම්පදා භික්ෂූන් මෙහි ගෙන්වා උපසම්පදාව යළිත් පිහිටුවීමට කටයුතු කළ නමුත් කෙටි කාලයක් ඇතුළත යළිත් පෙර පැවැති පරිහානි තත්ත්වයම ඇති විය.

ලාංකිකයාට අහිමි වූ ශාස්ත්‍රාලෝකයත් පිරිහී ගිය සඟ සසුනත් යළි නගා සිටුවීම සඳහා දහසයවන ශතවර්ෂයේ අග භාගයේ දී ලක්දිව යුග පුරුෂයකු බිහිවිය. ඒ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේය. උඩරට තුම්පනේ සහ වෙල්ලස්ස රට කරවන ලද මුදලිවරයකුගේ පුතෙකු ලෙස 1689 ජූනි 19 වන දින උපත ලද මෙම කුලතුංග කුමරා සොළොස් වියේදී ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සෙන්කඩගල රාජ්‍යත්වයට පත් සමයේදී සූරියගොඩ විහාරයේදී පැවිදි බිමට ඇතුළත් විය.

උන්වහන්සේගේ වයස අවුරුදු විසිතුන වන විට තම ඇඳුරුන් වූ සූරියගොඩ මහ තෙරුන් වහන්සේ මරණීය දණ්ඩනයට ලක්වූ නමුත් අප්‍රතිහත ධෛර්යයෙන් නැගී සිටිමින් ස්වෝත්සාහයෙන් භාෂා ඥානය වැඩිදියුණු කරගත් උන්වහන්සේ මුලින් පාලි, සංස්කෘත, ත්‍රිපිටක ධර්ම ඉගෙන ගත්හ අතර එකළ සිරගතව සිටි ලෙව්කේ රාළහාමිගෙන් බාලාවතාරයේ නාමඛාණ්ඩය, සතිපට්ඨාන සූත්‍රය ප්‍රගුණ කළ උන්වහන්සේ විපස්සනා භාවනාවද පුහුණු කළහ. පල්කුඹුරේ අත්ථදස්සී හිමියන්ගෙන් බාලාවතාරයෙහි ඉතිරි කොටස ඉගෙන ගත් අතර බුදු දහම පිළිබඳ සුපැහැදිලි අවබෝධයක් උන්වහන්සේ ලබාගත්හ.

ධර්ම ශාස්ත්‍රය බෙදාදීම සඳහා උන්වහන්සේ ඇසුරු කළ භික්‍ෂූන් වහන්සේ සමඟ “සිල්වත් සමාගම” නමින් සංවිධානයක් පිහිටුවාගත් උන්වහන්සේ ගමින් ගම චාරිකාවේ යෙදෙමින් ගිහියන්ට ධර්ම දේශනා පැවැත්වූ අතර ලේඛනය, හෝඩිය, සකස්කඩ ආදී මූලික භාෂා දැනුම ගිහියන්ට ලබාදීමටද ක්‍රියා කළහ. එමඟින් උන්වහන්සේ පිරිහී තිබූ අධ්‍යාපනයේ සහ සඟ සසුනේ යම් ප්‍රබෝධයකට මඟ පෑදූහ.

සිංහල රාජාවලියේ අවසන් නිරිඳුන් ලෙස සලකනු ලබන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුන් ක්‍රි.ව. 1706 දී සිංහාසනාරූඩ වූ අතර, වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ කෙරෙහි පැහැදී, උන්වහන්සේ ලවා සාරාර්ථ සංග්‍රහය සහ හේසජ්ජ මංජුසාව නම් ග්‍රන්ථ දෙක රචනා කිරීමට මෙම රජතුමන් කරන ලදි. තවද රජු හෙතෙම නියමකන්දේ විහාරස්ථානයක් කරවා සරණංකර හිමිපාණන් වහන්සේගේ අධ්‍යාපන කටයුතුවලට තවදුරටත් උපකාර කළේය.

නරේන්ද්‍රසිංහ රජුගෙන් පසුව සිහසුනට පත් වූ නායක්කර් වංශික ශ්‍රී විජය රාජසිංහ රජු වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ රාජගුරු පදවියට පත් කළේය. මෙම සමයේදී සරණංකර හිමියන්ගේ උපදෙස් පරිදි උපසම්පදාව ගෙන ඒම පිණිස සියම් රටට දූතයන් පිටත් කර යැවූ නමුත් එය සාර්ථක නොවීය.

1747 දී සිංහාසනාරූඩ වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සමයේ වැලවිට සරණංකර හිමියන්ගේ ඉල්ලීම පරිදි රජතුමන් විසින් සියම් රටේ අයෝධ්‍යා පුරයේ ධාර්මික නම් සියම් රජු වෙත දූත පිරිසක් යවා උපාලි තෙරුන් ප්‍රමුඛ සිල්වත් උපසපන් භික්ෂූන් මහනුවර මල්වතු මහා විහාරයට රාජ්‍ය ගෞරව සහිතව වැඩමවාගෙන විත් 1753 වර්ෂයේ ඇසළ මස පුන් පොහෝදා ප්‍රථම උපසම්පදා කර්මය සිදු කරන ලදි. ඒ අනුව සියවස් එක හමාරක් පමණ කාලයක් තිස්සේ මෙරටට අහිමි වී තිබූ උපසම්පදාව යළිත් වරක් ලක්දිව ස්ථාපිත විය. අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන එන ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ උපසම්පදා කර්මය මෙසේ ආරම්භ වූයේය. මෙකී වෑයම නූතන බෞද්ධ පුනර්ජීවයේ හා ජාතික අධ්‍යාපන පුනරුදයේ සන්ධිස්ථානය වන අතර වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර හිමියෝ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සංඝරාජ පදවියට පත් කරන ලදී.

... සෙංකඩගල රාජධානියේ නිරිඳුන් සියල්ලම පාහේ පිරිහෙමින් තිබූ පිරිවෙන් අධ්‍යාපනයත් බුදු සසුනත් යළි පිහිටුවීමට ගත් ප්‍රයත්න මල් ඵල ගන්වමින් එලෙස ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේත්, ශ්‍රී විජය රාජසිංහ රජුගේත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේත් අනුග්‍රහ ඇතිව වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේ විසින් සිය බහුස්‍රැත බවත්, අප්‍රතිහත ධෛර්යයත්, කැපවීමත් ඔස්සේ නැවත ලක්දිව බුදුසසුන ස්ථාපිත කර පිහිටුවාලූහ.

වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ තමන් වැඩ සිටි මහනුවර නියමකන්ද විහාරස්ථානයෙහි පළමු පිරිවෙන ඇරඹූහ.

සරණංකර සංඝරාජ හිමිපාණන්ගේ ශිෂ්‍ය සිටිනාමළුවේ ධම්මජෝති හිමියන්ගේ ශිෂ්‍යයෙකි, කඳුරුපොකුණේ සුවණ්ණජෝති තෙරුන් වහන්සේ. උන්වහන්සේගේ ශිෂ්‍යයෙකි, කරතොට ධම්මාරාම තෙරුන් වහන්සේ. ධම්මාරාම හිමිගේ ශිෂ්‍ය ගාල්ලේ මේධංකර තෙරණුවෝ ලක්දිව දෙවන පිරිවෙන් විද්‍යාස්ථානය රත්නපුර පැල්මඩුල්ල රජ මහා විහාරයේ ආරම්භ කරන ලදහ.

වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියෝ වනාහි එම පිරිවෙනෙහි සහ මේධංකර හිමිගේ ශිෂ්‍ය රත්නයකි. රත්මලානේ පරම ධම්ම චේතිය මහ පිරිවෙණ ආරම්භ කරන ලද්දේ මෙම වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහ තෙරුන් වහන්සේ ය.

වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහ තෙරුන් වහන්සේ

ආදි කර්තෘන් වහන්සේ
ආදි කර්තෘන් වහන්සේ

1811 මාර්තු මස බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර තොටමුණට අයත් සශ්‍රීක “වලාන” ගම්වරයෙහි වැදගත් පවුලකට දාව උන්වහන්සේ උපන්හ. ඉතා ලාබාල වියේ සිටම බුදුසසුන කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ මේ කුඩා කුමරු දොළොස් හැවිරිදි වියේදී පැවිදි බිමට ඇතුලත් වූ අතර ගුණරතන හිමියන් හමුවේ ද නැදිවත රේවත හිමියන් හමුවේද ධර්මය හදාළ හෙතෙම විසි හැවිරිදි වියේදී මහනුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදා වූහ. ධර්ම, විනය, ශබ්ද ශාස්ත්‍රාදිය කීර්තිමත් පණ්ඩිත ගාල්ලේ මේධංකර මහා තෙරුන් වහන්සේ කෙරෙන් වැඩිදුර ඉගැනීමට පැල්මඩුල්ල රජ මහා විහාරයට වැඩම කළ උන්වහන්සේ 1838 දී යළිත් වලානේ විහාරයට වැඩම කර ගිහි පැවිදි සිසුන්ට ධර්ම ශාස්ත්‍රාදිය ඉගැන්වීම ආරම්භ කළහ.

උන්වහන්සේ කෙරෙහි පැහැදුණු අගනුවර ප්‍රභූ පවුල් කීපයක ආරාධනාවෙන් 1841 වස් සමයේ දී රත්මලානට වැඩම කළ උන්වහන්සේ පරම ධම්ම චේතිය මහ පිරිවෙණ ආරම්භ කළහ.

පිරිවෙණ පිහිටුවීම

නූතන පාරිවේණික අධ්‍යාපනයේ
මාර්ගදර්ශකයාගේ ඇරඹුම

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2385 වූද ක්‍රිස්තු වර්ෂයෙන් 1841 මැයි මාසයේ දී ධර්මධර පණ්ඩිත භික්ෂුවක ලෙස ලංකාද්වීපය පුරා පතල වී සිටි වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහ තෙරණුවෝ රත්මලානට වැඩම කර වදාළහ. ඒ උන්වහන්සේ කෙරේ පැහැදුණු අගනුවර ශ්‍රද්ධා සම්පන්න ප්‍රභූ පවුල් කීපයක් උන්වහන්සේට අගනුවරට නුදුරු රත්මලාන ග්‍රාමයේ වස් විසීම සඳහා සිදු කරන ලද ආරාධනයක් පිළිගැනීමක් වශයෙනි.

එම ප්‍රභූ පිරිස අතර අත්තිඩියේ ආරච්චි මහත්තයා යැයි ප්‍රසිද්ධව සිටි පනාගොඩ ආරච්චිගේ දොන් ජෙරනිමුස් සෙනෙවිරත්න රාලහාමි, ජයසූරිය ආරච්චිගේ තෙදෝනිස් ප්‍රේරා අප්පුහාමි, දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි, රත්මලානේ දොන් ප්‍රෝලිස් ලේකම් රාලහාමි ප්‍රමුඛ වූ අතර ධර්මය විනයධරත්වයත් භාෂා ශාස්ත්‍ර විශාරදත්වයත් මගින් කීර්තියට පත්ව තිබූ වලානේ සිද්ධාර්ථ හිමියන් වෙතින් ශාස්ත්‍ර ඥාණය ලබාගත හැකි වනු පිණිස කොළඹට ආසන්න බිමක ප්‍රසිද්ධ විද්‍යාස්ථානයක් පිහිටුවාලීමට සුදුසු ආරාමයක් කරවා දීමේ අභිප්‍රායක් ඔවුන්ට විය.

කොළඹ තෙදෝනිස් අප්පුහාමි නම් ධනවත් සැදැහැති සත්පුරුෂයා විසින් “නෝර්මන් ඉස්කෝලෙ” යැයි ප්‍රසිද්ධ ශාස්ත්‍රාලය ඉදිරිපිට හිස්බිමක් මිලට ගෙන ආරාමයක් කරවා පූජා කිරීමට කැමැත්ත දැක්වූ නමුත් දූරදර්ශී සිද්ධාර්ථ හිමියන් එය නොපිළිගත්තේ තවත් පනස් වසරක් ගෙවෙන විට කොළඹ නගරයේ ඇතිවිය හැකි දියුණුවක් සමඟ කාර්යබහුල පරිසරයක් ලාබාල ශිෂ්‍යයන් පුහුණු කිරීමට සුදුසු නොවන බව පසක් කර ගනිමිනි.

කෙසේ වෙතත් අගනුවරට නුදුරු එවකට ග්‍රාමීය පරිසරයක් සහිත එහෙත් පුණ්‍යකාමී ධනවත් ප්‍රභූ පවුල් කීපයකට ද නිජබිිමයක් වූ රත්මලාන ග්‍රාමයේ ආරාමයක් කරවීම පිණිස භූමිභාගයක් පූජා කිරීමට දොන් ජෙරනිමුස් සෙනෙවිරත්න රාලහාමි විසින් සිද්ධාර්ථ හිමි කැඳවාගෙන පැමිණ භූමිය පෙන්වා අදහස සැළකළ අතර ඊට උන්වහන්සේගේ කැමැත්ත හිමි විය.

ආරාමය කරවන තුරු පොල් අත්තෙන් තැනවූ කුඩා ආවාසයක මෙලෙස රත්මලානට වැඩම කළ සිද්ධාර්ථ හිමියෝ කලින් කී ප්‍රභූ සත්පුරුෂයන්ගේ සහ සැදැහැතියන්ගේත් සිව්පසය ලබමින් වස් කාලය විසූහ. එය පරම ධම්ම චේතිය මහ පිරිවෙනේ ආරම්භයයි.

මෙම කුඩා ආවාසයේ සිට ශිෂ්‍යයන් දෙතුන් දෙනෙකුගෙන් ඉගැන්වීම ආරම්භ වූ අතර, පිරිවෙනේ ප්‍රධානම අරමුණ වූයේ තෙවලා බුදු දහම නිවැරදිව ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට ඉගැන්වීමයි. ඉතා කෙටි කාලයකින්ම එහි කීර්තිය පතලව ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දහහත් නමක් දක්වා එය වර්ධනය වූ අතර එම දහහත් නම අතරින් වඩා කැපී පෙනුණු භික්ෂූන් වහන්සේලා වූයේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, රත්මලානේ ශ්‍රී ධම්මාලෝක හිමි, දෙහිපිටියේ සංඝරක්ඛිත හිමි, මොරපිටියේ අත්ථදස්සී හිමි, බටුවන්තුඩාවේ දේවරක්ඛිත හිමි, බද්දේගම සරණංකර හිමි, කොග්ගල කවිතිලක හිමි, උඩුගම්පොළ රතනපාල හිමි, මැදගම සුමන හිමි, ගණේගම උපනන්ද හිමි, ලබුගම හිමි හා සූරියගොඩ සෝණුත්තර හිමි යන තෙරුන් වහන්සේලාය.

ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ද පසු කලෙක ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදයෙහිලා විශිෂ්ඨ සේවාවක් කරන ලද අතර, ඒ අතර සිටි පානදුරාවාදය, බද්දේගම වාදය ආදී ආගමික විවාදවලදී බෞද්ධ පිළෙහි ජයග්‍රහණයට උපස්ථම්භක වූද 1873 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ ආරම්භ කොට ලංකාද්වීපය පුරා ධර්ම ශාස්ත්‍ර ප්‍රබෝධයක් ඇති කළා වූද අති පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ද, පසුකාලීනව කැළණිය විශ්වවිද්‍යාලය බවට පත්වූ 1875 දී පිහිටවූ විද්‍යාලංකාර පිරිවෙණ ආරම්භ කල අති පූජ්‍ය රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නාහිමි ද කැපී පෙනේ. ඒ අනුව කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි සහ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි තිඹිරි ගෙය වන්නේ ද පරම ධම්ම චේතිය මහ පිරිවෙනයි.

කෙසේ වෙතත් සිද්ධාර්ථ හිමියෝ සිය වලානේ විහාරස්ථානය සමඟ සම්බන්ධය අත් නොහළ අතර රත්මලානේ මෙන්ම වලානේද උන්වහන්සේ විසූහ. එහෙයින් රත්මලානේ දොන් ප්‍රෝලිස් ලේකම් රාලහාමි ඇතුළු ශ්‍රද්ධා සාම්පන්න දායක පිරිසක් සිද්ධාර්ථ හිමිපාණන් වෙත පැමිණි රත්මලානේ නිත්‍ය නේවාසිකත්වයට වැඩම කරන ලෙස අයැද සිටි අතර එම ආරාධනය පිළිගත් වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමිපාණෝ 1849 දී රත්මලාන පරම ධම්ම විහාරස්ථානයට නිත්‍ය නේවාසිකත්වය සඳහා වැඩම කළ සේක.

දිනෙන් දින වර්ධනය වූ කීර්තිය නිසා සිසු පිරිසද සියය ඉක්මවා සිටි හෙයින් පින් කැමති සැදැහැවත් දායක පිරිස යාබද ඉඩම් කොටස් හතරක් ද මිලට ගෙන පිරිවෙන් විහාරස්ථානයට පූජා කළ අතර 1861 ජනවාරි මස 10 වන දින අභිනව පුස්තකාලයත්, කුටි සතකින් සමන්විත වූ ආවාස මන්දිරය සහ කුටි විසි එකකින් සමන්විත ශිෂ්‍ය නිවාස තුනකිනූත් සමන්විත රමණීය ආරාමය විවෘත කර ප්‍රවේශ වන ලදි. එතැන් පටන් මෙය "පරම ධම්ම චේතියාරාමය" යන අර්ථාන්විත නාමයෙන් හඳුන්වනු ලැබීය. මෙම ප්‍රවේශ මංගල්‍යය සඳහා තුන් මසක් පුරා පිරිත් පින්කම් පැවැත්වුණු බවටද පරිත්‍රාන ධර්ම දේශනය කෙරුණු ධර්ම මන්දිරය මහල් සතකින් යුක්ත වූ බවටද මෙහි පිරිත් දේශනාවට සිය නමක් මහා සංඝයා වැඩම කළ බවටද සඳහන් වී ඇත.

සියළු දේහි අනිත්‍ය බවට වූ බුද්ධ වචනය සපථ කරමින් ධර්ම ශාස්ත්‍රාලෝකයෙන් ලක් පොළොව ආලෝකවත් කළ වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ක්‍රි.ව. 1868 දී අපවත් වී වදාළහ.

හික්කඩුවේ ශ්‍රී සුමංගල සමය

වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙන් පසු හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ පරම ධම්ම චේතිය පිරිවෙනෙහි අධිපති පදවියට පත්වූහ. සිද්ධාර්ථ හිමියන්ගේ අඩුව පුරවමින් 1868 සිට 1870 දක්වා පරම ධම්ම චේතිය මහ පිරිවෙනේ පරිවේණාධිපති ධුරය දරමින් ගිහි පැවිදි ශිෂ්‍යයන්ට ධර්ම ශාස්ත්‍ර දානය කළහ. කෙසේ වෙතත් එ සමයේදී අගනුවර බෞද්ධ බලය පිරිහී යමින් තිබූ අතර එයින් කම්පාවට පත් කොළඹ බෞද්ධ ප්‍රභූන්ගේ ආරාධනයෙන් උන්වහන්සේට කොළඹට වඩින්නට සිදුවූ අතර අන්තර්ජාතික කීර්තියට පත් විද්‍යාස්ථානයක් බවට පත්වූ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන 1873 වර්ෂයේදී ඇරඹූහ. එසේ වුවද සුමංගල නාහිමියෝ පරම ධම්මචේතිය මහා පිරිවෙන හා හා තිබූ සම්බන්ධය අත් නොහළහ. දීප්තිමත් අනාගතයක් ඇතැයි මතු බලාපොරොත්තු සහිත කුඩා සාමණේර හිමිවරුන්ට මුලින් පුහුණු වන්නට හොඳම තැන රත්මලාන යැයි දක්වා උන්වහන්සේ ඇතැම් අවස්ථා වලදී සාමණේර හිමිවරුන් පරම ධම්ම චේතිය වෙත ධර්ම ශාස්ත්‍ර හැදෑරීම සඳහා යොමු කරන ලදහ.

හික්කඩුවේ නාහිමියන්ගෙන් පසු 1870 සිට 1887 දක්වා පුරා දහහත් වසරක් පරම ධම්ම චේතිය පිරිවෙ නෙහි පරිවේණාධිපති ධූරය දරන ලද්දේ සිද්ධාර්ථ නාහිමියන්ගේ ශිෂ්‍යයන් වූ මොරපිටියේ අත්ථදස්සි, දෙහිපිටියේ සංඝරක්ඛිත සහ රත්මලානේ සුමනතිස්ස යන මහා තෙරුන් වහන්සේලා විසිනි.

වලානේ ධම්මානන්ද සමය

ඉක්බිති පරිවේනාධිපති ධුරයට පත් වූයේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන්ගේ දීප්තිමත් ශිෂ්‍ය රත්නයක් වූ වලානේ ධම්මානන්ද නාහිමියෝය. උන්වහන්සේ හික්කඩුවේ නාහිමියන්ගේ ද ධර්ම ශාස්ත්‍ර ප්‍රගුණ කර තිබූ අතර කලක් විද්‍යෝදය මහ පිරිවෙනෙහි ආචාර්ය පදවියක් ද දැරූහ. බුද්ධ ශාසන මහා සූර සේනාපති රාජදත්තිය නාමෝපලක්ෂිත ධර්මරත්න පඬිතුමන් ඇතුළු රත්මලානේ සැදැහැතුන්ගේ ආරාධනයෙන් උන්වහන්සේ පරිවේනාධිපති ධූරය භාරගත් අතර “පරම ධම්ම චේතියාරාමය” “පරම ධම්ම චේතිය පිරිවෙන” ලෙස යෙදෙන්නට ගත්තේ උන්වහන්සේගේ කාලයේදීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරුලෙන විල්ගම්මුල ගල් ගුහාවක තිබූ දුටුගැමුණු රජතුමා විසින් පිහිටුවන ලද අභය මුද්‍රාවෙන් යුතු සධාතුක ශෛලමය ප්‍රතිමා වහන්සේ පරම ධම්ම චේතිය පිරිවෙන් භූමියට වඩමවා විහාර ගෙයක් තනා ප්‍රතිමාව පිහිටුවා දෙපැත්තේ තවත් බුද්ධ පර්යංක ප්‍රතිමා දෙනමක් අඹා සිතුවම් කරන ලද්දේ ධම්මානන්ද හිමියන්ගේ කාලයේදීය. "මැණික් පිළිමය" යැයි අද හඳුන්වන මෙහි රක්ත මාණික්‍යයක් යොදන ලද සර්වඥ ධාතු නිධන් කොට ඇතැයි සැළකෙන අතර සිංඩුන්මිබයා නම් බුරුම රැජිණ විසින් 1892 දී මේ ප්‍රතිමාවෙහි ස්වර්ණාලේප කරවන ලද බවද තවත් කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා දෙකක් එවන ලද බවද සඳහන් වන අතර එම ප්‍රතිමා දෙක මැණික් පිළිමය දෙපස තැන්පත් කරනු ලැබ ඇත.

ඊට නොබෝ කලකට පසු වික්ටෝරියා රැජිණ දැකීමට ගොස් සිය රට යන අතරතුර ලංකාවට ගොඩ බැසි කාම්බෝජ රජතුමා කොළඹට සැපත් වූ අතර පරම ධම්ම චේතිය පිරිවෙනටද පැමිණ එවකට අඩුවක්ව තිබූ ධර්ම ශාලාව තැනීමට ධන පරිත්‍යාගය සිදු කළ අතර එයින් ධර්ම ශාලාව ඉදිකර එය චිරස්ථායි වන අන්දමට අයෝමය දැවයෙන් රට උළු වලින් හා කැටයමෙන් යුතුව නිමකරන ලදි...

... ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කාලය පරම ධම්ම චේතිය පිරිවෙණෙහි දීප්තිමත් යුගයක් වීය. එම සමයේදී ගිහි පැවිදි වියතුන් විශාල ප්‍රමාණයක් එහි ශාස්ත්‍ර හදාල අතර ත්‍රෛනිකායික මහානායක ධූර හෙබවූ රාජකීය පණ්ඩිත විදුරුපොළ පියතිස්ස, ගබ්බෙල සිරිනිවස, මොරටුවේ මේධානන්ද, මාතලේ ධම්මසිද්ධි, පිඹුරේ වාචිස්සර යන මහ තෙරවරුන්ද ධම්මානන්ද සමයෙහි මේ පරම ධම්ම චේතිය පිරිවෙණෙහි ශාස්ත්‍ර හදාරන ලද අතර උඩරට අමරපුර නිකායේ මහානායක හිමියන් වහන්සේ බවට පත්වූ රාජකීය පණ්ඩිත විදුරුපොළ පියතිස්ස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පරම ධම්ම චේතිය පිරිවෙනට මහත් කීර්තියක් ගෙන දෙමින් සිංහල, පාලි, සංස්කෘත භාෂා ත්‍රිත්වයෙන් ගෞරව පන්තියේ සාමාර්ථ්‍ය ලැබ ප්‍රාචීන විභාගය සමත්ව මෙරට පළමු වරට උභයශේඛර ස්වර්ණ මුද්‍රිකාව සහිතව පණ්ඩිත උපාධිය ලැබූ සේක.

මෙසේ පරම ධම්ම චේතිය පිරිවෙණෙහි දීප්තිමත් යුගයක අවසානය සනිටුහන් කරමින් වලානේ ධම්මානන්ද මහා තෙරුන් වහන්සේ 1911 දී අපවත් වී වදාළහ. පණ්ඩිත ශිරෝමණී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් අපවත් වී වදාළේ ද එම වර්ෂයේදීමය.

පශ්චාත් ධම්මානන්ද සමය

වලානේ ධම්මානන්ද මහා තෙරුන් වහන්සේගෙන් පසුව අරුග්ගොඩ සීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ පරිවේණාධිපති ධූරයට පත්වූහ. උන්වහන්සේ 1923 ජනවාරි 20 වන දින අපවත් වනතුරු පරම ධම්ම චේතිය පිරිවෙණෙහි පරිවේණාධිපති ධූරය දැරූහ. ඉන් ඉන් අනතුරුව පරිවේනාධිපති ධූරයට පත් වූයේ පරම ධම්ම චේතිය පිරිවෙනෙහිම ආදි ශිෂ්‍ය හිමිනමක වූ බැන්ඩියමුල්ලේ ධම්මරතන හිමියෝ ය. ධම්මරතන හිමියෝ 1920 සිට 1925 දක්වා පස් වසක් පිරිවෙනෙහි පරිවේණාධිපති ධුරය දරා පසුව 1925 දී ගම්පහ පහළගම විද්‍යාරවින්ද පිරිවෙන ආරම්භ කොට එහි වැඩියහ. 1925 සිට 1930 තෙක් පරිවේනාධිපති ධූරය පිඹුරේ වාචිස්සර නාහිමියන් විසින් දරන දරන ලද අතර උන්වහන්සේ ද 1930 දී අගලවත්ත ප්‍රතිරාජ පිරිවෙන ආරම්භ කොට එහි වැඩියහ. ඉන් අනතුරුව පරිවේණාධිපති ධුරයේ කටයුතු යටිපව්වේ මේධානන්ද හිමියන් විසින් ඉටු කරන ලදි.

මෙම පිරිවෙනින් ම අධ්‍යාපනය ලබන ලද ඉතා දක්ෂ හිමිනමක් වූ සූරියගොඩ සුමංගල හිමියන් විසින් ද විහාරාධිපති ධුරය දරන ලද අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළමු වරට ශාස්ත්‍රවේදී (බී.ඒ.) විභාගය සමත් කළ භික්ෂුව වන උන්වහන්සේ ලංකා විශ්වවිද්‍යාල විද්‍යායතනයේ කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කළ අතර සිය පශ්චාත් උපාධිය හැදෑරීම පිණිස එංගලන්තයට වැඩම කළ ප්‍රථම භික්ෂුව වීමේ ගෞරවයද ලදහ.

වලානේ සට්ඨිස්සර සමය

සූරියගොඩ සුමංගල හිමියන් විදේශගතව සිටින සමයේ පිරිවෙනෙහි වැඩබලන පරිවේණාධිපති ලෙස කටයුතු කරමින් සිටි වලානේ සට්ඨිස්සර හිමිපාණෝ 1942දී විහාරාධිපති ධූරයට ස්ථීරව පත්වූයේ, සූරියගොඩ සුමංගල හිමියන් එංගලන්තයේදි උපැවිදි වීමත් සමඟය.

වලානේ සට්ඨිස්සර හිමිපාණෝ වනාහි වලානේ ධම්මානන්ද හිමියන්ගේ මෙන්ම සූරියගොඩ සුමංගල හිමියන්ගේද ද ශිෂ්‍ය රත්නයකි. එ හිමියන් පිරිවෙනෙහි අභිවෘද්ධිය පිණිස ඉමහත් කැපවීමෙන් කටයුතු කළ අතර විශේෂයෙන් ඉතා කටුක සමයක් වූ දෙවනි ලෝක මහා සංග්‍රාම කාලයේ දී පිරිවෙන පවත්වාගෙන යනු ලැබූයේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය හා උත්සාහයෙනි. 1935 දී පමණ ශ්‍රී සිද්ධාර්ථ පුස්තකාලය සහිත පිරිවෙන් ගොඩනැගිල්ල ගරා වැටෙමින් තිබූ අතර එවකට මහා මාර්ග හා කර්මාන්ත අමාත්‍යවරයා වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් සභාවක් පවත්වා ගෙන කාම්බෝජියේ මහරජතුමාගේද උපකාර ඇතිව යළි ප්‍රතිසංස්කරණය කොට සුරක්ෂිත කළහ. පිරිවෙනෙහි මන කාන්ත දාගැබ ඉදි වූයේ ද සට්ඨිස්සර නාහිමියන්ගේ සමයේය.

සට්ඨිස්සර හිමියන්ගේ සමයේදී සිදුවූ තවත් ඉතා වැදගත් ජාතික කර්තව්‍යයක් වූයේ පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලය (ගුරු අභ්‍යාස විද්‍යාලය) පිහිටුවීමයි. 2500 වැනි බුද්ධ ජයන්තිය නිමිති කොට ගෙන පිහිටුවන ලද මෙය ලංකාවේ පිරිවෙන් ගුරුවරුන් පුහුණු කරන පළමු අභ්‍යාස විද්‍යාලය විය. සට්ඨිස්සර නාහිමියන්ගේ අනුශාසනාව පරිදි එවකට සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපතිවරයාව සිටි ශ්‍රේෂ්ඨ බෞද්ධ විද්වතෙකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ බලවත් ප්‍රයත්නය පරිදි පරම ධම්ම චේතිය පිරිවෙන් බිමෙහි මෙය පිහිටුවන ලදි. පසු කාලීනව මෙය අවිස්සාවේල්ල පුරවරයට ගෙන යන ලදි.

මෙලෙස පරම ධම්ම චේතිය පිරිවෙනට සහ ජාතියට අමිල සේවයක් ඉටුකළ වලානේ සට්ඨිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ, උන්වහන්සේගේ ආචාර්යවරයාණන් වූ වලානේ ධම්මානන්ද හිමියන් අපවත් වූ දින වැනිම ජනවාරි මස 07 වන දිනක අපවත් වී වදාළේ 1960 වර්ෂයේදීය.

මාපලගම විපුලසාර සමය

ඉන්පසුව ඇරඹි විපුලසාර යුගය පරම ධම්ම චේතිය පිරිවෙනෙහි ස්වර්ණමය යුගයයි. වලානේ සට්ඨිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය වූ මාපලගම විපුලසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1960 ජනවාරි මස 14 වන දින පිරිවෙනෙහි විහාරාධිපති ධූරයට පත්වූ අතර පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යක්ෂ ධූරයටද පත්වූහ. මාපලගම විපුලසාර ස්වාමීන්ද්‍රයන් වනාහී කලාශූරියකි. බෞද්ධ කලාව කෙරෙහි යොමු වූ උන්වහන්සේ සිය විශිෂ්ට කලා කෞශල්‍ය නිසා ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද මහත් කීර්තියකට පත්වූහ. පරම ධම්ම චේතිය පිරිවෙන ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත බෞද්ධ ලෝකයාගේම ගෞරවයට පාත්‍ර වන කලාගාරයක්, අධ්‍යාපන ආයතනයක්, අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයක් හා ප්‍රබල සමාජ සේවා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමෙහිලා ප්‍රධානතම සාධකය කලාශූරී මාපලගම විපුලසාර මාහිමිපාණන් වහන්සේය.

ලොව අන් කිසිදු රටකට නොදෙවෙනි ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය ලාංඡනය ද උන්වහන්සේගේ නිර්මාණයකි. විහාර චිත්‍ර නිර්මාණය, විශේෂයෙන් බෞද්ධ ප්‍රතිමා නිර්මාණය නිසා උන්වහන්සේ ඉතා ප්‍රසිද්ධියට පත් වූ අතර අනුරාධපුර සමාධි ප්‍රතිමාවේ කැඩුණු නාසයද මහාචාර්යය සෙනරත් පරණවිතානයන්ගේ මෙහෙයවීමෙන් යළි සකස් කරන ලද්දේ විපුලසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට ඇති අවුකන පිළිමයෙහි අනුරුව ද උන්වහන්සේගේ දායකත්වයෙන් තනන ලද්දක් වන අතර, විහාර මහා මහා දේවී උද්‍යානය, කොටුවේ සම්බුද්ධාලෝක විහාරය, කොළඹ ආනන්ද විද්‍යාලය, නුගේගොඩ කන්ද්වත්තේ විහාරය ආදී ස්ථානවල ඇති සුවිශාල බුද්ධ ප්‍රතිමා වහන්සේලා ද උන්වහන්සේගේ නිර්මාණ වේ. තවද ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදේශ රටවල ප්‍රචාරය සඳහාද උන්වහන්සේගෙන් සිදු වූයේ අගනා සේවාවක් වන අතර “නිල නොලත් සංස්කෘතික තානාපතිවරයා” යන අනුවර්ත නාමයෙන් උන්වහන්සේ හැඳින්වූහ.

සිද්ධාර්ථ මන්දිරය නමින් හැඳින්වෙන දෙමහල් ගොඩනැගිල්ල ඉදි කිරීමත්, නිතර පිරිවෙනට පැමිණෙන විදේශිකයන් ඇතුළු අමුත්තන්ට නවාතැන් ගැනීම සඳහා නවීන පහසුකම් සහිත කාමර කිහිපයක් ඉදිකිරීමත් නවීන දානශාලාව ඉදි කිරීමත්, පිරිවෙනට ඇතුළුවන ස්ථානයේ වාහල්කඩ සහිත තොරණ ඉදි කිරීමත් භාවනා මන්දිරය සහ දෙමහල් ජාත්‍යන්තර පුස්ථකාලය ඉදි කිරීමද උන්වහන්සේගේ සමයේ සිදු කරන ලද අතර අසරණ සරණ පුණ්‍යාධාර ක්‍රමයක් මෙන්ම මහජන යහපත උදෙසා සායනයක් ද ආරම්භ කරන ලදි.

විපුලසාර මහ තෙරුන්ගේ විදේශ සම්බන්ඳතා නිසා චීන, ජපාන, කොරියා, තායිලන්ත, බුරුම ආදී රටවලද ධර්මදූතයෝ නිතර පිරිවෙනට පැමිණි අතර එවැනි රටවල විදෙස් ශිෂ්‍ය භික්ෂූහු ද පිරිවෙනෙහි නේවාසිකව උගත්හ.

පරම ධම්ම චේතිය මහ පිරිවෙනට ත් රටට සාසනයට හා බෞද්ධ කාලාවටත් සමස්ත බෞද්ධ ලෝකයටත් මහා පහණක් වූ මාපලගම විපුලසාර නා හිමියෝ 2000 ඔක්තෝබර් මස 29 වන දින සැත්තෑ පන් වියෙහි දී අපවත් වී වදාළ හ.

මඩපාත ධම්මසාර සමය

මාපලගම විපුලසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් පසුව විහාරාධිපති ධූරයට පත්වූයේ උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වූ මඩපාත ධම්මසාර හිමිපාණන් ය. විපුලසාර හිමියන්ගේ සමයේ නියෝජ්‍ය පරිවේනාධිපතිත්වය දැරුවෝ ද උනහන්සේ ය.

ධම්මසාර හිමිපාණන් වහන්සේ වනාහී දක්ෂ ගීත රචකයෙකු මෙන්ම චිත්‍ර ශිල්පියෙකු ද ලෙස ප්‍රකට වූ කලාකරුවෙකි. කාර්ය සංවිධානයෙහිද නිපුණයෙකු වූ උන්වහන්සේ පිරිවෙනෙහි කටයුතු ඉතා හොඳින් පවත්වාගෙන යනු ලැබූ නමුත් පසුව උන් වහන්සේ නිරන්තරයෙන් ගිලන් වීම නිසා පිරිවෙනෙහි කටයුතු අඩාල විය. එසේ වුවත් මහත් පරිශ්‍රමයෙන් උන්වහන්සේ කටයුතු කටයුතු කළ අතර පිරිවෙනෙහි ශබ්දාගාරය පිහිටුවන ලද්දේ උන්වහන්සේ විසිනි. කාලයක පටන් ගිලන්ව සිටි උන්වහන්සේ 2015 සැප්තැම්බර් මස 13 වන දින අපවත් වී වදාළ හ.

නූතන යුගය

මාඉටිපේ විමලසාර සමය

මාපලගම විපුලසාර නා හිමියන්ගෙන් පසු ක්‍රමයෙන් අභාවයට යමින් තිබූ නූතන පාරිවේණික අධ්‍යාපනයේ මාර්ගදර්ශකයා වන පරම ධම්ම චේතිය මහා පිරිවෙනේ චිරස්ථතිය නැවත තහවුරු කරමින් සංඝසභාවේ ඒකමතිකත්වයෙන් 2015 වර්ෂයේදී පිරිවෙණෙහි විහාරාධිපති ධූරයට හා පරිවේණාධිපති ධූරයට පත්වූවෝ මාපලගම විපුලසාර නා හිමියන්ගේ ද්විතීක ශිෂ්‍යවරයාණන් වූ මාඉටිපේ විමලසාර නා හිමිපාණෝ ය.

ආචාර්ය මාඉටිපේ විමලසාර නා හිමියෝ වනාහි ජාත්‍යන්තර බෞද්ධ ධර්ම දූතයෙකි. කල්කටා විශ්වවිද්‍යාලයෙන් සහ බරණැස හින්දු විශ්ව විද්‍යාලයෙන් ස්වකීය ප්‍රථම සහ පස්චාත් උපාධි ලද උන්වහන්සේ දඹදිව බුද්ධගයා විහාරයේ ප්‍රධාන පරිපාලක ධූරයද එහි බෞද්ධ සභාවේ ප්‍රධාන ලේකම් ධූරයද, ඇමරිකාවේ කැන්සාස් හි බෞද්ධ විහාරයේ ප්‍රථම අධිපති දූරයද හෙබවූ උන්වහන්සේ ලොස් ඇන්ජලීස් හි ධර්මවිජය බෞද්ධ විහාරයේ සිට බටහිර ලොව බෞද්ධ කටයුතු සංවිධානය කරමින් අන්තර්ජාතික ධර්මප්‍රචාරයෙහි නිරත වෙමින් සිටියදී කඩාවැටෙමින් තිබූ තම ගුරු භූමිය වූ පරම ධම්ම චේතිය මහා පිරිවෙණ නැවත නගාසිටුවීම සඳහා විහාරාධිපති ධූරය භාරගන්නා ලදි.

නවෝදයක පෙර මඟ ලකුණු පහළ කරමින් තම ගුරු හිමියන් වූ විපුලසාර හිමියන් මෙන්ම දෙස් විදෙස් සබඳතාවලින් ද පොහොසත් වූද නායකත්ව ලක්ෂණයෙන් අනූන වූද විමලසාර හිමියන් සිය ගුරු හිමියන් ගෙන ගිය මහා දැවැන්ත වැඩපිළිවෙළෙහි ඊලඟ පියවරයන් නැවත ක්‍රියාත්මක කරමින් මහා කර්තව්‍යයක් සාර්ථකව ආරම්භ කරන ලද අතර, ගරා වැටෙමින් තිබූ අති රමණීය මෙන්ම පිරිවෙණෙහි සලකුණක් බඳු වූ සංඝාවාස ගොඩනැගිල්ල ප්‍රතිස්කරණය කිරීම එහි ආරම්භක පියවරක් විය.

ජාත්‍යන්තර සංවිධානවල විධායක ධූර ගණනාවක් ද හොබවමින් කටයුතු කරන විමලසාර හිමියන් දායකයින් සහ දෙස් විදෙස් ප්‍රජාව එකතු කරගනිමින් දායක සභාව, කුලඟන සමිතිය ආදිය පණ ගන්වා ගනිමින් පිරිවෙනෙහි මින් පෙර නොවූ ආදි ශිෂ්‍ය සංගමය, යෞවන සමාජය, දානෝපකාර සමිතිය වැනි සංවිධානද ඇති කොට, වෛද්‍ය සායන ආදිය පිහිටුවා, බෞද්ධ අධ්‍යාපන, සමාජ සේවා සහ සහජීවන කේන්ද්‍රයක් ලෙස ද පරම ධම්ම චේතිය මහා පිරිවෙන මෙහෙයවමින් සිටිති.

ඓතිහාසික ගමන්මග

  • 1841

    වලානේ ශ්‍රී සිද්ධාර්ථ නා හිමියන් විසින් පරම ධම්ම චේතිය මහ පිරිවෙන ආරම්භ කිරීම.

  • 1856

    සියම් නිකායේ පහතරට පළමු උපසම්පදාව ආරම්භ කිරීම. වලානේ සිද්ධාර්ථ නා හිමි ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා කිහිප නමක් 1855 ජූනි මාසයේදී කෝට්ටේ රජ මහා විහාරයට රැස්වී පහතරට දී උපසම්පදා උත්සවයක් පැවැත්වීමට තීරණය කළහ. උන්වහන්සේලා "ශ්‍රී කල්‍යාණි සාමග්‍රී පරම මහා සංඝ සභාව" පිහිටුවා 1856 දී කැලණි නදියේදී උපසම්පදා උත්සවය පවත්වන ලදී. වැඩිදුර කියවන්න

    පිරිවෙනෙහි පුස්ථකාලය විවෘත කිරීම.

  • 1862

    පළමු සිංහල පත්‍රය වන "ලක්මිණිපහණ" පළ කිරීම.

    මෙය පරම ධම්ම චේතිය පිරිවෙනෙහි විහාරාධිපති අතිපූජ්‍ය වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ගාල්ලේ ගුණතිලක අතපත්තු සල්පිටි කෝරළේ මුදලිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර 1862 සැප්තැම්බර් 11 වැනි දින ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදී. වැඩිදුර කියවන්න

  • 1865

    පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේදී අතිපූජ්‍ය සිද්ධාර්ථ මහා හිමිපාණන්ගේ මෙහෙයවීම යටතේ ත්‍රිපිටකය පෙරහුරු කරන ලදී.

  • 1868

    පරම ධම්ම චේතිය මහා පිරිවෙනේ නිර්මාතෘ අතිපූජ්‍ය වලානේ සිද්ධාර්ථ මහා ස්වාමින් වහන්සේ ගේ අපවත් වීම සිදු වීම.

  • 1873

    පරම ධම්ම චේතිය මහා පිරිවෙනේ විහාරාධිපති වූ ද දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ද අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා ස්වාමින් වහන්සේ විසින් මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන ආරම්භ කිරීම. වැඩිදුර කියවන්න

  • 1875

    පරම ධම්ම චේතිය මහා පිරිවෙනේ විශිෂ්ඨ ආදි ශිෂ්‍යයකු වූ අතිපූජ්‍ය රත්මලානේ ශ්‍රී ධම්මාලෝක මහා ස්වාමින් වහන්සේ විසින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කිරීම. වැඩිදුර කියවන්න

  • 1890

    දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන ලදැයි සැළකෙන කුරුණෑගල විල්ගම්මුල කුඹුරුලෙනෙහි වූ "මැණික් පිළිමය" නම් සධාතුක බුද්ධ ප්‍රතිමා වහන්සේ පරම ධම්ම චේතිය මහ පිරිවෙනට වැඩම කරවීම.

  • 1891

    බුරුම සිංදුන්මිබායා රැජිණියන්ගේ පැමිණීම සහ ඇය විසින් මැණික් පිළිමයෙහි රන් ආලේප කරවීම. මැණික් පිළිමය දෙපස තැන්පත් කිරීමට තවත් කිරිගරුඬ බුදු පිළිම වහන්සේ දෙනමක් ද ඇය විසින් එවීම.

  • 1892

    තීබෝසෝ බාවාජී කාම්බෝජ මහ රජතුමා පිරිවෙනට සැපත් වීම සහ එතුමාගේ ආධාරයෙන් ධර්ම ශාලාව ඉදිකිරීම.

  • 1911

    පිරිවෙන "පරම ධම්ම චේතියාරාමය" වෙනුවට "පරම ධම්ම චේතිය පිරිවෙන" ලෙස භාවිතා වීම ආරම්භ වීම.

  • 1928

    පිරිවෙන් සෑයට මුල්ගල් තැබීම.

  • 1946

    විහාර ගොඩනැගිල්ල ඉදි කිරීම.

  • 1956

    පරම ධම්ම චේතිය පිරිවෙන් භූමියේ පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලය පිහිටුවීම. 2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මහාචාර්ය ගුණපාල මලලසේකර සහ වලානේ සට්ඨිස්සර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උත්සාහයෙන් ආරම්භ කරන ලද මෙම ආයතනය පිරිවෙන් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා කැප වූ ශ්‍රී ලංකාවේ පළමු විද්‍යාලය විය.

  • 1958

    පරම ධම්ම චේතිය මහා පිරිවෙනේ දහම් පාසල ආරම්භ කිරීම. වැඩිදුර කියවන්න

  • 1960

    පිරිවෙනේ ස්වර්ණමය යුගයක් ආරම්භ කරමින් අතිපූජ්‍ය කලාසූරී මාපලගම විපුලසාර මහා ස්වාමින් වහන්සේ පිරිවෙනෙහි විහාරාධිපති පදවියට පත්වීම.

  • 1975

    දෙමහල් සංස්කෘතික ශාලාව විවෘත කිරීම.

  • 1979

    සාමණේර හිමිවරුන් සඳහා පැරණි සංඝාවාසය ප්‍රතිසංස්කරණය කිරීම.

  • 1980

    අභිනව තායි පිළිම ගෙය විවෘත කිරීම.

  • 1987

    අභිනව දාන ශාලාව විවෘත කිරීම.

  • 1988

    අභිනව භාවනා මන්දිරය විවෘත කිරීම.

  • 1989

    ආරක්ෂණ සභාවේ ආරම්භය.

  • 1990

    දෙමහල් ජාත්‍යන්තර පුස්තකාලය විවෘත කිරීම.

  • 1991

    පිරිවෙනහි 150 වැනි සංවත්සර සැමරුම.

  • 1994

    ප්‍රදේශයේ ජනතාව සඳහා නොමිලේ වෛද්‍ය මධ්‍යස්ථානයක් විවෘත කිරීම. වැඩිදුර කියවන්න

  • 1999

    සන්නිවේදන මධ්‍යස්ථානය විවෘත කිරීම.

  • 2015

    පැරණි බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කර රන් වැටක් සහිතව නව බෝධි ප්‍රාකාරය ඉදිකිරීම.

  • 2016

    පිරිවෙනහි 175 වැනි සංවත්සර සැමරුම.

  • 2024

    පරම ධම්ම චේතිය මහ පිරිවෙන සහ චීන ටිබෙටොලොජි පර්යේෂණ මධ්‍යස්ථානය අතර අධ්‍යාපන, පර්යේෂණ සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම. වැඩිදුර කියවන්න

නායකත්ව ඉතිහාසය

පූර්ව විහාරාධිපති ස්වාමීන්වහන්සේලා