ගාලු පුරවරයේ හික්කඩුව හෙට්ටිගොඩ ග්‍රාමයේ දොන් ජොහැන්නස් අබේවීර ගුණවර්ධන මහ ලියන ආරච්චි රාළහාමිගේ සහ ඔහුගේ බිරිඳ වන දණ්ඩන්ගොඩ ගමගේ ක්‍රිස්ටිනා හාමිනේගේ පවුලට දාව 1827 ජනවාරි 20 වැනි දින දොන් නිකලස් ගුණවර්ධන නමින් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි උපත ලැබීය. එම පවුලේ පස්වන දරුවා වූ නිකලස්, හෙට්ටිගොඩ තිලකාරාම විහාරස්ථානයෙන් සිංහල හා පාලි භාෂාවලින් මූලික අධ්‍යාපනය ලැබූ අතර එහිදී පූජ්‍ය හික්කඩුවේ සෝභිත නායක හිමි සහ පූජ්‍ය මාබොටුවන රේවත නායක හිමි යන හිමිවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට භාග්‍ය හිමි විය.
නව හැවිරිදි වියේදී තොටගමුවේ රජ මහා විහාරවාසී අරුන්ගමුවේ රේවත හිමියන්ගේ අනුශාසනා පරිදි හික්කඩුවේදී “හික්කඩුවේ සුමංගල” යන නාමයෙන් පැවිදි වූ නිකලස් කුඩා දරුවා කුඩා කල සිටම විශිෂ්ට කථිකත්වයක් පෙන්නුම් කළ අතර දක්ෂ ලේඛකයෙකු ද විය.
පැවිදි දිවියට එළැඹීමෙන් වසර හතරකට පසු උන්වහන්සේ පූජ්‍ය පන්නම්ගොඩ ජේතුතර හිමි සහ පූජ්‍ය බෝවල ධම්මානන්ද හිමි යටතේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරූ අතර ප්‍රදේශයේ ප්‍රකට විද්වතකු වූ ජෝන් කොරනේලිස් අබයවර්ධන මහතාගෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණත්වය ලබා ගත්හ. අනතුරුව 1844 දී සාමණේර සුමංගල හිමිපාණන් වහන්සේ පිළිබඳ වගකීම වලානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමි වෙත පැවරිණි. එලෙස උන්වහන්සේ රත්මලානේ කීර්තිමත් පරම ධම්ම චේතිය මහා පිරිවෙනේ ප්‍රථම ශිෂ්‍ය හිමිවරු දහහත් දෙනාගෙන් කෙනෙකු වීමේ භාග්‍යය ලදහ. තව දුරටත් අධ්‍යාපනය හදාල උන්වහන්සේ කෂීනාථ නම් බ්‍රාහ්මණයෙකු යටතේ සංස්කෘත සහ තර්ක ශාස්ත්‍රය වැනි විෂයයන් හැදෑරූහ.
1848 දී හික්කඩුවේ සුමංගල හිමියෝ මහනුවර මල්වතු පාර්ශ්වයෙන් උපසම්පදාව ලැබූහ. උන්වහන්සේ පරම ධම්ම චේතිය මහා පිරිවෙනේ වැඩ සිටි සමයේ රත්මලානේ ශ්‍රී ධම්මාලෝක හිමියන් වැනි සමකාලීනයන්ගේ ඇසුර ලද අතර පසුව පරම ධම්ම චේතිය පිරිවෙන, හික්කඩුවේ තිලකාරාමය, බෝගහවත්ත සුදර්ශන පරමානන්ද විහාරය, කොටහේනේ පරමානන්ද විහාරය ඇතුළු විහාරස්ථාන රැසක ගුරුවරයකු ලෙස සේවය කළහ.
1864 දී හික්කඩුවේ සුමංගල හිමියන් ශ්‍රීපාදස්ථානයේ (ශ්‍රී පාදයේ) විහාරාධිපති ලෙස පත් වූ අතර මෙම උතරීතර පදවිය උන්වහන්සේ රටේ ප්‍රමුඛතම බෞද්ධ භික්ෂුවක ලෙස උන්වහන්සේගේ තත්ත්වය තහවුරු වීමට ද හේතු විය.
වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා තෙරුන්වහන්සේගේ අපවත්වීමෙන් පසු පරම ධම්ම චේතිය පිරිවෙනේ විහාරාධිපති ධුරයට පත්වූයේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ය. 1868 සිට 1870 දක්වා ගිහි සහ පැවිදි සිසුන්ට ධර්ම අධ්‍යාපනය ලබාදෙමින් උන්වහන්සේ සිද්ධාර්ථ හිමියන්ගේ අඩුව පුරවන ලදී. කෙසේ වෙතත් එම සමයේ අගනුවර බෞද්ධ ආභාෂය හීන වෙමින් තිබූ බැවින් කොළඹ සැදැහැවත් බෞද්ධ ප්‍රභූන්ගේ ආරාධනය පිළිගෙන උන්වහන්සේ එහි වැඩි අතර 1873 දී මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ආරම්භ කළ අතර එය පසු කාලීනව ජාත්‍යන්තර කීර්තිමත් බෞද්ධ අධ්‍යාපන ආයතනයක් බවට පත් විය.
එසේ වුවද සුමංගල නාහිමියෝ පරම ධම්මචේතිය මහා පිරිවෙන හා තිබූ සම්බන්ධය අත් නොහළහ. දීප්තිමත් අනාගතයක් ඇතැයි මතු බලාපොරොත්තු සහිත කුඩා සාමණේර හිමිවරුන්ට මුලින් පුහුණු වන්නට හොඳම තැන රත්මලාන යැයි දක්වා උන්වහන්සේ ඇතැම් අවස්ථා වලදී සාමණේර හිමිවරුන් පරම ධම්ම චේතිය වෙත ධර්ම ශාස්ත්‍ර හැදෑරීම සඳහා යොමු කරන ලදහ.
හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් සිංහල, පාලි, සංස්කෘත යන භාෂා තුනෙහි මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙහිද ප්‍රවීණයෙකු වූ අතර, බුදුදහම, ඉතිහාසය, ගණිතය සහ පුරාවිද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් උන්වහන්සේ සතු විය. මෙම විෂයයන් පිළිබඳව ග්‍රන්ථ රැසක් උන්වහන්සේ රචනා කළ අතර, 1865 දී පැවති බද්දේගමවාදයේ සහ 1873 දී පැවති පානදුරාවාදයේ ප්‍රමුඛ චරිතයක් බවට පත් විය. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ශ්‍රී ලංකාවට පැමිණියේ මෙම විවාද වල පසු වාර්තාවල ආභාසයෙනි. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ මඟපෙන්වීම යටතේ ඕල්කට් තුමා බුදුදහම වැලඳගත් අතර, කොළඹ ආනන්ද විද්‍යාලය (1886), මහනුවර ධර්මරාජ විද්‍යාලය (1887) සහ ගාල්ල මහින්ද විද්‍යාලය (1892) ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාසල් කිහිපයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට උපකාර වූ ගුරුහරුකම් ලබා ගත්තේය. පරමවිඥානාර්ථ සංගමයේ ප්‍රමුඛ සාමාජිකයකු වූ සී.ඩබ්ලිව්. ලීඩ්බීටර් මහතා බුදුදහම වැළඳ ගැනීම සනිටුහන් කරමින් තුන් සරණ සහ පන්සිල් ගැනීම සිදු කරනු ලැබූයේ ද හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ඉදිරියේ ය.
බෞද්ධයකු නොවූ එච්.එල්.ද මැල් මහතා විසින් 1885 දී කොළඹ හුණුපිටියේ ඉඩමක් පරිත්‍යාග කරන ලද අතර එහි ගංගාරාම විහාරස්ථානය පිහිටුවාලන ලද්දේ ශ්‍රී සුමංගල හිමියන් විසිනි. අනුරාධපුරයෙන් ශ්‍රී මහා බෝධි ශාඛාවක් වැඩම කරවා විහාර භූමිය තුළ රෝපණය කිරීමේ සුවිශේෂී පියවර ද උන්වහන්සේ විසින් ගනු ලැබූහ. ගංගාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ලෙස උන්වහන්සේ තම ජීවිතය කැප කරන ලද්දේ අධ්‍යාත්මික සමාජය පෝෂණය කිරීමටය. උන්වහන්සේගේ ඇවෑමෙන් පසු උන්වහන්සේගේ කාර්ය කර්තව්‍යය අඛණ්ඩව පවත්වාගෙන යාම පූජ්‍ය දෙවුන්දර ශ්‍රී ජිනරතන හිමියන්ට භාර විය.
1885 දී බෞද්ධ කොඩිය නිර්මාණය කළ "කොළඹ කොමිටියේ" සභාපතිවරයා ලෙස කටයුතු කරල ලද්දේ ද හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ය. මෙම සම්භාවනීය කමිටුවට පූජ්‍ය පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, මෙන්ම ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පියා සහ සීයා වැනි කැපී පෙනෙන චරිත ද ඇතුළත් විය. 1885 මැයි 28 වන වෙසක් දින කොටහේන දිපදුත්තමාරාමයේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි විසින් බෞද්ධ කොඩිය ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ඔසවන ලදි. වෙසක් සැමරුම සඳහා බ්‍රිතාන්‍ය පාලනයෙන් පළමුවරට රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත්වූ මෙදින මෙම උත්සවය ලක්දිව බෞද්ධ උරුමය සනිටුහන් කරන ලදි.
ශ්‍රී සුමංගල හිමියෝ ශ්‍රී ලංකාවේ බෞද්ධ පුවත්පත් කලාවේ පෙරගමන්කරුවෙකි. උන්වහන්සේ විසින් "ලංකාලෝක" පුවත්පත ආරම්භ කළ අතර, පසුව "සරසවිසඳරැස" සහ "සිංහල බෞද්ධයා" වැනි අනෙකුත් පුවත්පත් ප්‍රකාශයට පත් කිරීමට ද දේශීය බෞද්ධ ප්‍රජාවට සහාය විය. බුදු දහමට ඉටු වූ උන්වහන්සේගේ අමිල දායකත්වය ඉමහත් ප්‍රසාදයට ලක්වූ අතර එය අගයමින් ශ්‍රී ලාංකිකයන් මෙන්ම නැගෙනහිර සහ බටහිර විවිධ රටවල ජාතීන් විසින් ද උන්වහන්සේට ප්‍රදානය කරන ලද ගෞරව නාම, පදවි රාශියක් විය. අයර්ලන්තය, ඉතාලිය, හංගේරියාව සහ ජර්මනිය යන රටවලින් ද උන්වහන්සේගේ උතුම් කාර්යය අගයමින් ගෞරව උපාධි පිරිනමන ලදී.
බුදු දහමට සහ ලක් මාතාවට අමිල සේවයක් සිදු කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා තෙරුන් වහන්සේ 1911 අප්‍රේල් 29 වැනි දින 84 හැවිරිදි වියේ දී අපවත් වී වදාළහ. බුදුදහමට සහ බෞද්ධ අධ්‍යාපනයට උන්වහන්සේගෙන් සිදු වූ අසමසම මෙහෙවරෙහි ප්‍රතිලාභ එදා සිට අද දක්වාම අසංඛ්‍යාත ජනතාවක් භුක්ති විඳිති.